හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 81 වැනි ජන්ම දිනය අද (18)ට යෙදී තිබේ.1945 නොවැම්බර් 18 වැනිදා හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය ප්‍රදේශයේ උපත ලැබූ මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්රයේ දශක ගණනාවක් පුරා කටයුතු කළ දේශපාලනඥයෙකි.ඔහු 2005 සිට 2015 දක්වා ශ්‍රී ලංකාවේ පස්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ අතර, 2004 අප්‍රේල් මාසයේ සිට 2005 ජනාධිපති ධුරයට පත්වන තෙක් අග්‍රාමාත්‍ය ධුරයද හෙබවීය.1970 වසරේදී පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඔහු 2010 වසරේදී දෙවැනි ජනාධිපති ධුර කාලය සඳහාද තේරී පත්විය. 2015 ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවේ පරාජයට පත්වීමෙන් පසු ජනාධිපති ධුරයෙන් ඉවත් විය. පසුව කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවටද තේරී පත්විය.මේ අතර, මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දිනය වෙනුවෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ඔහුගේ වැඩිමහල් පුත්‍රයා වන නාමල් රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් සුබ පැතුම් එක්කර තිබේ.එම සටහනෙන් නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ මෙවර උපන්දිනයේදී පියා අසල සිට සුබ පැතීමට නොහැකි වුවද, ඔහු කෙරෙහි ඇති ආදරය සහ ගෞරවය අසීමිත බවයි.ජීවිතයේ අභියෝග හමුවේ ඉවසීමෙන් හා ධෛර්යයෙන් සිටීමට පියාගෙන් ලැබුණු ආදර්ශය සිහිපත් කර ඇති ඔහු, නායකත්වය යනු තනතුරක් දැරීම පමණක් නොව වගකීම් භාරගැනීම සහ අභියෝග හමුවේ නොසැලී සිටීම බවද සඳහන් කර තිබේ.තමන් මුහුණ දෙන වත්මන් අසීරු කාලය තුළ පියාගෙන් උගත් ඉවසීම, ධෛර්යය සහ අධිෂ්ඨානයේ වටිනාකම තවදුරටත් අවබෝධ කරගන්නා බවද ඔහු එම සටහනේ සඳහන් කර ඇත.අවසානයේදී පියාට නිදුක් නිරෝගී සුවය, මානසික ශක්තිය සහ තමන්ගේ අසීමිත ආදරය පළ කරමින් නාමල් රාජපක්ෂ මහතා උපන්දිනයට සුබ පැතුම් එක්කර තිබේ.

