හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝශිත රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අද (17) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබේ.
2006 වසරේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශිෂ්‍ය භට නිලධාරීන් බඳවා ගැනීමේදී සහ බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණු පාඨමාලාවකට සහභාගි වීම සඳහා සුදුසුකම් සම්බන්ධයෙන් අක්‍රමිකතා සිදුවූ බවට වන චෝදනා යටතේ මෙම විමර්ශනය සිදු කෙරේ.
අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත්තේ, අදාළ පාඨමාලාව සඳහා නියමිත සුදුසුකම් වෙනස් කරමින් සැකකරුට අවස්ථාව සලසා දී ඇති අතර, ඒ වෙනුවෙන් රජයට රුපියල් මිලියන 6.2කට අධික පාඩුවක් සිදුවී ඇති බවයි.
කෙසේවෙතත්, යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් පෙන්වා දුන්නේ, පාඨමාලාව සඳහා අයදුම් කිරීම සහ තෝරාගැනීම අදාළ ආයතන මගින් සිදුකර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ඔහුට වගකීමක් පැවරිය නොහැකි බවයි.
දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ අධිකරණය සැකකරු ඇප මත මුදාහැරීමට නියෝග කළ අතර, විදේශ ගමන් තහනමක් ද පනවා තිබේ. නඩුව යළි අගෝස්තු 4 වැනිදා කැඳවීමට නියමිතය.
යෝෂිතට ඇප – නඩුව අගෝස්තු 4ට

