රුපියල් මිලියන 110කට ආසන්න වටිනාකමකින් යුත් කොකේන් තොගයක් සමඟ 79 හැවිරිදි ස්පාඤ්ඤ ජාතිකයෙකු ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කෘෂිකාර්මික ඉංජිනේරුවරයෙකු වන සැකකරු පසුගිය 22 වැනිදා සියෙරා ලියෝන් සිට අඩිස් අබාබා සහ දෝහා හරහා කටුනායක ගුවන් තොටුපොළට පැමිණ ඇති බව වාර්තා වේ.
ඔහුගේ අතේ රැගෙන ආ ගමන් මල්ලේ කිසිදු සැකකටයුතු ද්‍රව්‍යයක් හමු නොවූ අතර, ප්‍රමාද වූ අනෙක් ගමන් මල්ල ලබා ගැනීම සඳහා ඊයේ (24) නැවත ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේ එය එක්ස්-රේ පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව සූක්ෂම ලෙස සඟවා තිබූ කොකේන් පාර්සල් හතරක් සොයාගෙන තිබේ.
එම මත්ද්‍රව්‍ය තොගයේ මුළු බර කිලෝග්‍රෑම් 2.198ක් වන අතර, එහි දළ වීථි වටිනාකම රුපියල් මිලියන 109.9ක් පමණ වන බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන ආරම්භ කර ඇති අතර, සැකකරු සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතය.
රුපියල් මිලියන 110ක කොකේන් සමඟ ස්පාඤ්ඤ ජාතිකයෙකු දැලේ

