වත්තල, කදිරාන පල්ලියවත්ත ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකට අනුබල ලබාදුන් බවට සැකකෙරෙන පුද්ගලයෙකු බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය ජූලි 23 වනදා රාත්‍රියේ පැවති උපන්දින සාදයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, එහි ඉලක්කය වී තිබුණේ ‘මට්ටක්කුලියේ කුඩු රොෂාන්’ ලෙස හඳුන්වන පුද්ගලයා බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
කෙසේවෙතත් වෙඩි ප්‍රහාරය වැරදී රොෂාන් අසල සිටි පුද්ගලයෙකුට වැදී ඇති අතර, බරපතළ තුවාල ලැබූ ඔහු රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.
විමර්ශන අතරතුර සැකකරුවන් භාවිත කළ මෝටර් රථය කුලියට ලබාගැනීම සඳහා සිය ගිණුමෙන් මුදල් බැර කරමින් අපරාධයට අනුබල දුන් බවට සැකකෙරෙන 24 හැවිරිදි සීදූව, මූකලන්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ඊයේ (29) අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

