කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ප්රධාන සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ බිරිඳ රජයෙන් ඉල්ලා සිටින්නේ, සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා තම සැමියාට සාධාරණය ඉටුකර දෙන ලෙසයි.ඇය පවසන්නේ තම සැමියා වරදක් කර නොමැති බවත්, ඔහු අපරාධයකට සම්බන්ධ බවට සමාජ මාධ්ය ඔස්සේ පළවන තොරතුරු හේතුවෙන් තම පවුලට සමාජය හමුවේ මුහුණදීමට අපහසු තත්ත්වයක් උද්ගත වී ඇති බවත්ය.“වලානෙන් කියලා 15ක් විතර ආවා. ඇවිල්ලා කාවන්තිස්සට වෙඩි තිබ්බා කියලා, වැරැද්ද පිළිගන්න ඕනේ කිව්වා. මහත්තයා කිව්වා, මම නොකරපු දෙයක් කවදාවත් පිළිගන්න බැහැ කියලා,” යනුවෙන් ඇය සඳහන් කළාය.තමන් රජයේ සේවිකාවක බවත්, සැමියාද රජයේ සේවකයෙකු බවත් පැවසූ ඇය, දරුවන් දෙදෙනෙකු සිටින තම පවුලට මෙම තත්ත්වය දැඩි බලපෑමක් එල්ල කර ඇති බව ප්රකාශ කළාය.තම පවුල විසින් විශාල වියදමක් දරා අලි වැටක් ඉදිකර ඇති බවත්, වන සතුන්ට හානි කරන ආකාරයේ ක්රියාවක තම සැමියා කිසිවිටෙකත් නිරත වී නොමැති බවත් ඇය කියා සිටියාය. තම සැමියා සතුව තිබූ බලපත්ර සහිත ගිනිඅවියද පොලීසිය රැගෙන ගිය බව ඇය සඳහන් කළාය.කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක ඒකකය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මේ මස 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහව මහේස්ත්රාත් අනුරාධා සෙනෙවිරත්න මහත්මිය ඊයේ (19) නියෝග කළාය.එම සැකකරුවන් අතර ඇහැටුවැව ප්රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන නිපුණතා සංවර්ධන නිලධාරියෙකුද සිටින අතර, ඔවුන් දෙදෙනාම ඇහැටුවැව හුලුගල්ල ප්රදේශයේ පදිංචිකරුවෝ වෙති.සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකර එහි ප්රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්රාත්වරිය අඹන්පොළ පොලීසියට නියෝග කර තිබේ.අඹන්පොළ පොලීසිය අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ, වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක ඒකකය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව සිදුකළ මෙහෙයුමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. සැකකරුවන් සන්තකයේ තිබූ බෝර 12 වර්ගයේ ගිනිඅවි දෙකක්ද පොලීසිය භාරයට ගෙන තිබේ.කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදුකරන බවද පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උදය රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ කියා සිටියේ තම සේවාදායකයන්ට එල්ල වී ඇති චෝදනා ඔවුන් ප්රතික්ෂේප කරන බවයි. ප්රමාණවත් සාක්ෂි නොමැතිව පුද්ගලයෙකුගේ ප්රකාශයක් මත පදනම්ව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම යුක්තිසහගත නොවන බවද ඔහු පැවසීය.පොලීසිය භාරයට ගත් ගිනිඅවි දෙක සැකකරුවන්ට අයත් බලපත්ර සහිත නීත්යානුකූල ගිනිඅවි බවද නීතිඥවරයා සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් සමාජයේ ඇතිවූ කැලඹීම හේතුවෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවටද ඔහු චෝදනා කළේය. සැකකරුවන් ඕනෑම ඇප කොන්දේසියක් මත මුදාහරින ලෙසද ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.මේ අතර, අලි ඇතුන් ආරක්ෂා කිරීමේ ලෝක සංවිධානයේ ශ්රී ලංකා ශාඛාව වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ නීතිඥ සඳගිරි බණ්ඩාර මහතා පැවසුවේ කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබුවේ කවුරුන්ද යන්න අනාවරණය කරගෙන සිද්ධියට වගකිවයුත්තන් හඳුනා ගැනීම පොලීසියේ වගකීමක් බවයි.හස්තියාගේ මරණය සම්බන්ධයෙන් සමාජයේ දැඩි අවධානයක් යොමුව ඇති බැවින්, සිද්ධිය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුකර හස්තියාට යුක්තිය ඉටු කිරීමේ අවශ්යතාව පවතින බවද ඔහු අවධාරණය කළේය.

