නිල්වලා සහ ගිං ගංගාවල ඇතැම් ප්රදේශවල පවතින සුළු ගංවතුර තත්ත්වය තවදුරටත් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.පසුගිය දිනවලට සාපේක්ෂව වර්ෂාපතනය අඩු වී තිබුණද, නිල්වලා ගඟේ ඉහළ ප්රදේශවල ස්ථාන කිහිපයකට පසුගිය පැය 24 තුළ මිලිමීටර් 75ත් 100ත් අතර වර්ෂාපතනයක් ලැබී තිබේ.එමෙන්ම මහවැලි ගඟේ ඉහළ ප්රදේශවලට මිලිමීටර් 50ත් 75ත් අතර වර්ෂාපතනයක්ද, මහ ඔයේ ඉහළ ප්රදේශයට මිලිමීටර් 50කට ආසන්න වර්ෂාපතනයක්ද ලැබී ඇත.නිල්වලා ගඟේ අකුරැස්ස සහ ඊට පහළ ප්රදේශවලත්, ගිං ගඟේ පහළ ප්රදේශයේ පත්තිගම සහ ඒ අවට ප්රදේශවලත් සුළු ගංවතුර තත්ත්වය තවදුරටත් පවතී.මේ වන විට ජල මට්ටම්වල විශාල වැඩිවීමක් දක්නට නොලැබුණද, පහත් බිම්වල ඇතැම් ස්ථාන ජලයෙන් යටවීමේ අවදානම තවදුරටත් පවතින බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.කළු ගඟේ ඉහළ ප්රදේශවල ජල මට්ටම් අඩුවෙමින් පවතින අතර, මිල්ලකන්ද සහ ඒ ආසන්න ප්රදේශවල ජල මට්ටම් සුළු ගංවතුර මට්ටමට ආසන්නව පවතී.කැලණි ගඟ, අත්තනගලු ඔය සහ මහ ඔයේ ජල මට්ටම්ද ක්රමයෙන් පහළ යමින් පවතින බව වාර්තා වේ.කෙසේ වෙතත්, නිල්වලා සහ ගිං ගංගා ඇතුළු තෙත් කලාපයේ අනෙකුත් ගංගාවල ජල මට්ටම් ඉහළ අගයක පවතින බැවින්, ඉදිරියේදී අධික වර්ෂාපතනයක් ලැබුණහොත් ජල මට්ටම් ක්ෂණිකව ඉහළ යා හැකි බවට අනතුරු අඟවා තිබේ.එබැවින් ගංගා ආශ්රිත පහත් බිම්වල ජනතාව අවධානයෙන් පසුවන ලෙසත්, ජලාශවල වාන් දොරටු විවෘත කිරීම සම්බන්ධයෙන් නිකුත් කරන නිල නිවේදන පිළිබඳ සැලකිලිමත් වන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

