බලශක්ති ක්ෂේත්රයේ තරගකාරීත්වය ඉහළ නැංවීම සහ පාරිභෝගික සුබසාධනය තහවුරු කිරීමේ අරමුණින් “තරගකාරීත්ව ප්‍රතිපත්තිය සහ නීතිය” පිළිබඳ ඉහළ පෙළේ සම්මන්ත්‍රණයක් ඊයේ (13) කොළඹදී පැවැත්විණි.ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධානත්වයෙන් සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) සහයෝගීතාවයෙන් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබිණි.ප්‍රතිසංස්කරණයට ලක්වෙමින් පවතින බලශක්ති සහ විදුලිබල ක්ෂේත්රය තුළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සාධාරණ තරගකාරී පරිසරයක් සහ නව වෙළෙඳපොළ අවස්ථා නිර්මාණය කිරීම මෙහි ප්‍රධාන අරමුණක් විය.ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු ඇතිවූ නව තත්ත්වය තුළ මෙවැනි සම්මන්ත්‍රණයක් පැවැත්වීම වැදගත් පියවරක් ලෙස සැලකේ.විනිවිදභාවයෙන් යුත් සාධාරණ තරගකාරී රාමුවක් තුළින් බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම, පාරිභෝගිකයන්ට දැරීමට සිදුවන විදුලි හා බලශක්ති පිරිවැය අවම කිරීම සහ බලශක්ති ක්ෂේත්රයට පෞද්ගලික අංශයේ සහභාගිත්වය පුළුල් කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි.ඒ සඳහා ප්‍රධාන ප්‍රතිපත්ති සම්පාදකයන්, නියාමකයන් සහ ජාත්‍යන්තර විශේෂඥයන් එක්ව බලශක්ති ක්ෂේත්රයේ තරගකාරීත්ව ප්‍රතිපත්තිය සහ නීතිමය රාමුව ශක්තිමත් කිරීම පිළිබඳව පුළුල් සාකච්ඡාවක නිරත වී තිබේ.මෙහිදී ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, JICA ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන නියෝජිත ෂිගියෝ හොන්සු සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය කේ.පී.එල්. චන්ද්‍රලාල් යන මහත්වරු අදහස් දැක්වූහ.ජපානයේ තරගකාරීත්ව නීති බලාත්මක කිරීමේ ප්‍රධාන ආයතනය වන Japan Fair Trade Commission හි විශේෂඥයන් සිව්දෙනෙකු ඇතුළු දෙස් විදෙස් ප්‍රතිපත්ති සම්පාදකයන් සහ වෘත්තිකයන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වී තිබේ.

