Monday, April 28, 2025
Homeදේශීයසහකම්පනයෙන් යුතු, නිර්මාණශීලී තරුණ ප්‍රජාවක් බිහි කරලීමට කලාව අත්‍යවශ්‍ය දෙයක් - අග්‍රාමාත්‍ය...

සහකම්පනයෙන් යුතු, නිර්මාණශීලී තරුණ ප්‍රජාවක් බිහි කරලීමට කලාව අත්‍යවශ්‍ය දෙයක් – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය, ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කරන 44 වෙනි ජාතික යෞවන සම්මාන උළෙල ඊයේ (06) අරලියගහ මන්දිරයේ දී පැවැත් විය.

නර්තන, චිත්‍ර, පද්‍ය රචනා, නිවේදන ඇතුලු සංස්කෘතික තරඟ අංශ 91 ක, ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සහ විශේෂ අවශ්‍යතා සහිත තරුණ තරුණියන් 5 දෙනෙකු ද ඇතුලත්ව ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් 160 දෙනෙකු සහ සිංහල දිගු නාට්‍ය 04 ක, කෙටි නාට්‍ය 20 ක සහ දමිළ කෙටි නාට්‍ය 06 ක, දිගු නාට්‍ය 02 ක ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට යෞවන සම්මාන ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරුණි.

මෙම අවස්ථාවට එක් වෙමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවේ, සහකම්පනයෙන් යුතු, නිර්මාණශීලී තරුණ ප්‍රජාවක් බිහි කරලීමට කලාව අත්‍යවශ්‍ය දෙයක් වන අතර, කලාව ඇසුරු කරගනිමින් වැඩෙන දරුවා අනාගතයේ දී සම්පූර්ණ මිනිසෙකු ලෙස මානව ධර්මතා හඳුනා ගැනීමේ හා පරිකල්පන ශක්තිය ද හිමි අයෙක් බවට නිරායාසයෙන්ම පත් වන බවයි.

අතීතයට සාපේක්ෂව, වර්තමානයේ උසස් කලා නිර්මාණවල හිඟයක් පවතින බවත්, එය කිසිවෙකුගේ වරදක් නොව, වර්තමාන සමාජයේ පවතින තත්ත්වය සහ කලාව තුළින් පෝෂණය වී, කලාව තුළින් පැවතීමට වර්තමානය තුළ අපහසු කර තිබීම ඒ සඳහා බලපා ඇති බවත් අග්‍රාමාත්‍යවරිය පැවසුවාය. එය වෙනස් කිරීම වෙනුවෙන් ජාතික තරුණ සේවා සභාව ගන්නා උත්සහය අගය කළ අග්‍රාමාත්‍යවරිය, කලා කුසලතා පිරි ජාතියක් ගොඩනැගීම වෙනුවෙන් වූ වත්මන් රජයේ ප්‍රයත්නයට ජාතික තරුණ සේවා සභාව සපයන අත්වැල අගය කරන බවත් පැවසුවාය.

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කලා සංස්කෘතික රසවින්දනයේ සහ විනෝදාස්වාදය යටතේ ඇති අරමුණු සාක්ෂාත් කරලීමටත්, සංස්කෘතියෙන් දියුණු සමාජයක් බිහි කිරීම උදෙසා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයත්, ජාතික තරුණ සේවා සභාවත් ගන්නා උත්සහයත්, ඒ වෙනුවෙන් කැප වූ සියලු දෙනාටත් ස්තූතිවන්ත වන බව අග්‍රාමාත්‍යතුමිය වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළාය.

මාධ්‍ය අංශය
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments