ණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.
රජිත් කීර්ති තෙන්නකෝන්, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ අසාද් සාලි යන හිටපු පළාත් ආණ්ඩුකාරවරු ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසන්නේ ජනාධිපතිවරයාට, ඇමති මණ්ඩලයට හෝ ආණ්ඩුකාරයකුට පළාත් පාලන ආයතනයකට හිමි ආදායම් අහිමි කිරීම සඳහා කිසිදු අභිමත බලයක් නැති බව ද පවසති.
රජයේ පක්ෂය හැර වෙනත් පක්ෂ කණ්ඩායම් ජයග්‍රහණය කළහොත් එම පළාත් පාලන ආයතනවලට ප්‍රතිපාදන ලබා නොදෙන බවට ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවලදී සිදුකළ ප්රකාශයන්ට ප්‍රතිචාර දක්වමින් එම ආණ්ඩුකාරවරුන් නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
“ජනාධිපතිවරයා හෝ වෙනත් අයෙකු ‘ගමේ බලය නම් ඉල්ලන සල්ලි ඇස් පියාගෙන එවන්නම්, බලය වෙන අය අතේ නම් 10 පාරක්වත් හොයලා බලනවා’ යැයි ප්‍රකාශ කිරීම තනිකරම දේශපාලන බලහත්කාරයකි. මන්නාරමේ පැවති ජන රැලියකදී දෙවැනි වරට ද මෙම ප්‍රකාශය සිදුකර ඇත. එය ඡන්ද දූෂණයකි. ජනතාව නොමඟ යැවීමකි. එමෙන් ම කිසිදු පදනමක් නැති ප්‍රකාශයකි.
ජනතා ඡන්දයෙන් තේරී පත්කරගනු ලබන දේශපාලන පක්ෂ, කණ්ඩායම්වලට පළාත් ආණ්ඩුකරණයේ නිදහස පැවැතිය යුතු ය. විපක්ෂයේ සිටියදී පෙනී සිටි ප්රජාතන්ත්රවාදී වටිනාකම් බලයට පත්වීමෙන් පසුව විනාශ කර ගැනීමට ආණ්ඩුවට හැකියාවක් නැත. ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අණ පනත් මඟින් ලබාදී ඇති වගකීම් ඉටු කිරීමට බැඳී සිටී. ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ.
බහුතරයක් පළාත් පාලන ආයතනයන් වෙත රජයෙන් ලැබී ඇත්තේ වැටුප් ගෙවීම සඳහා වන ප්‍රතිපාදන පමණි. සේවක වැටුප් නැවැත්වීමේ බලයක් විධායකයට හෝ රාජ්‍ය නිලධාරීන් වෙත නැත. විධායකය හා මහා භාණ්ඩාගාරයට ලැබෙන මුදල් සැලකිය යුතු ප්‍රමාණයක් පළාත් පාලන ආයතන මඟින් උත්පාදනය කරන ආදායම් වේ.
පළාත් පාලන ආයතනයන්ට ස්වයං උත්පාදන ආදායම් හා අයකර ගත හැකි ගාස්තු ලබාගත හැකිය. මහ නගර සභා විශාල ප්‍රමාණයකට සහ නගර සභා හා ප්‍රාදේශීය සභා යම් ප්‍රමාණයකට ස්වයං උත්පාදන ආදායමෙන් යැපෙන්නට හැකිය.
පළාත් පාලන ආයතනවලට අය කරගත හැකි මුද්දර ගාස්තු ආදී ගාස්තු එම පනත්වලින්ම ව්‍යවස්ථාපිතව ඇත. මහ නගර සභා ආඥා පනතේ දෙවන උපලේඛනය, නගර සභා ආඥා පනතේ පස්වන උපලේඛනය, ප්‍රාදේශීය සභා පනතේ පළමු හා දෙවැනි උපලේඛනවල ඒවා නීතිගත කර තිබේ.
එම මූලික නීතියට අනුව පළාත් පාලන ආයතනයන්ට හිමි මුදල් අවහිර කළ නොහැකිය. තවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වැනි සංශෝධනයේ 9 උපලේඛනයේ 4.3 වගන්තිය අනුවද මේ බලය අහිමි කරන්න පළාත් සභාවටත් නොහැකිය.
ජාතික ජන බලවේගය විසින් මුද්‍රණය කර බෙදාහරිනු ලබන අත්පත්රිකාවේ ‘ප්‍රාදේශීය සභාවට ප්‍රතිපාදන ලැබෙන්නේ පවතින රජයෙනි. ප්‍රාදේශීය සභාවේ වෙනත් පක්ෂයක් බලයට පත් වුවහොත් ………..’ ලෙස දැක්වේ. මෙය පට්ටපල් බොරුවකි. කෙප්පයකි. ප්‍රචාරණයට අදාළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීමකි.
ප්‍රාදේශීය ආණ්ඩු පිහිටුවන්නේ ජනතා ඡන්දයෙනි. එහි නියෝජිතයන්ට ඇති බලය කැබිනට් අමාත්‍යවරුන්ට හෝ නැත. මහජන ඡන්දයෙන් පත්වන කිසිදු ආයතනයකට මූල්‍ය අවහිරතා ඇති කිරීමට කිසිදු ශිෂ්ට පාලකයකුට හැකියාවක් නැත. පළාත් පාලනය යනු ජනතාවගේ එදිනෙදා ජීවිතයට වැදගත්ම පහසුකම් ඉටුකරන ස්ථානයයි. එය දේශපාලනයෙන් නිදහස් විය යුතු අතර, ජනතා සෙත සැලසීම සඳහාම පමණක් විය යුතු ය. පාර්ලිමේන්තුවේ බලය හිමි කණ්ඩායම පළාත් ආණ්ඩුවේ බලය ද හිමිකර ගත යුතුය යන්න අශිෂ්ට දේශපාලන ව්‍යවහාරයකි. ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය කිරීමකි.