ඝාතනයට ලක්වූ වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිවරයා මහජන නියෝජිතයකු ලෙස නොව පාතාල ක්‍රියාකාරිකයකු යන ගණයට අයත් අයකු බවත් ඔහු සතුව අවි ආයුධ තිබෙන බව සහ ඔහු පාතාල කල්ලි නායකයකු ලෙස හඳුනාගෙන සිටි බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22දා) විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
“අද උදෑසන විපක්ෂ නායකතුමාත් මෙම කාරණය මතු කළා. අද වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ඝාතනයට ලක් වුණා. මෙම සිද්ධියෙන් හෝ පසුගිය කාලයේ සිදු වූ පාතාල ක්‍රියාකාරකම් නිසා මහජන ආරක්ෂාවට කිසිදු තර්ජනයක් වෙලා නෑ. අපි දන්නවා මේ රටේ සංවිධානාත්මක අපරාධකරුවන් සිටිනවා. එම කල්ලි ලෙස බෙදිලා ඉන්නවා. ඔවුන් සතුව අවි ආයුධ තිබෙනවා. ඔවුන් අතර ගැටුමක් තිබෙනවා. ඒ ගැන කිසිම විවාදයක් නෑ. මේ ගැන මම කලිනුත් ප්‍රකාශ කළා. සංවිධානාත්මක කල්ලි ඉන්නවා. ඒ අය සතුව ආයුධ තිබෙනවා. ඒ අය අතර ගැටුම් සිදු වෙනවා. අද සිදු වූ මේ ඝාතනය ගැනත් කිව යුතුයි.
ඔහු ලසන්ත වික්‍රමසේකර නොහොත් ‘මිදිගම ලසා.’ මෙයා මහජන නියෝජිතයෙක් වුණාට පාතාල ක්‍රියාකාරිකයෙක්. ඔහුට විරුද්ධව නඩු 06ක් තිබෙනවා. මාතර, කුරුණෑගල, ගාල්ල යන අධිකරණවල තිබෙනවා. සිර දඬුවම් ලබා තිබෙනවා. අත්හිටුවූ සිරදඬුවම් මත ඉන්නේ. විශේෂයෙන්ම ඔහු පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධයි.
දැනට ඉන්දුනීසියාවේ සිට රැගෙන ආපු සංවිධානාත්මක අපරාධකරුවන් කිහිපදෙනකු සිටිනවා. ඔවුන් කරන ප්‍රකාශ හරහා මොහු සතුව යම් යම් ආයුධ තිබෙන බව අනාවරණය වෙලා තිබෙනවා. ඒ ගැන පරීක්ෂණ දිගටම පැවැත්වෙනවා. පසුගිය 06/27 වැනි දිනත් ඔහු උසාවියට ගිහින් තිබෙනවා. ඔහුගේ විවිධ අපරාධ ගැන තොරතුරු වාර්තා කර තිබෙනවා මට. ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මුදල් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් තිබෙනවා.
මේ ආකාරයේ පාතාල සම්බන්ධතා ඇති අය අතර ආරවුල් ඇතිවීම තිබුණා. එවැනි ආරවුලක් තමයි මේක. පාතාල සාමාජිකයන් එකිනෙකා තමන් සතු ආයුධ භාවිත කර මේ විදිහට මිනිස් ඝාතන කරගන්නවා. මේක තමයි පසුගිය කාලයේම සිද්ධ වුණේ. මේකත් ඒ හා සමාන සිද්ධියක්, අපි දන්නේ නෑ සමගි ජන බලවේගයේ අය මෙතුමාව දන්නේ කොහොමද කියලා. එතුමන්ලා කියන්නේ ඒ අයගේ පක්ෂයේ එහෙම අය නෑ කියලයි.
මම පසුගිය මැයි 20 වැනිදාත් පාර්ලිමේන්තුවට මේ ගැන කිව්වා. සජබයට සම්බන්ධ අය ගැනත් යම් යම් නම් ගම් කිව්වා. මේ පුද්ගලයාත් එවැනි පුද්ගලයෙක්. අපි කිසිසේත්ම පාතාල හෝ වෙනත් පුද්ගලයෙක් මියයෑම අනුමත කරන්නේ නෑ. මිනිස් ජීවිතවල වටිනාකමට වගකියන ආණ්ඩුවක් අපි මේ ගැන විධිමත් විමර්ශනයක් සිදු කරනවා. මේ ඝාතනය අපි කිසිසේත් අනුමත කරන්නේ නෑ. කව්රු වුණත් ඔහු මහජන නියෝජිතයෙක් ලෙස පත් වෙලා තිබෙනවා. හැබැයි, අපි කියන්නේ පාතාල ක්‍රියාකාරීත්වයක් යම් දේශපාලන පක්ෂයක කටයුතු කරමින්, ඒ ස්ථානයට ඒ පක්ෂය විසින් පත් කරලා තිබෙනවා. එයා ඝාතනය වන විට මහජන නියෝජිතයෙන් කියන කැටගරි එකට නොවෙයි එයා පාතාල කැටගරි එකට වැටෙන්නේ.
මට තේරෙන විදිහට මේ නඩු හරහා, මේ විමර්ශන හරහා ඔහු පාතාල ක්‍රියාකාරිකයෙක් ලෙසත් එම සම්බන්ධතා හරහා ඒ කල්ලියක නායකයෙක් ලෙසත් කටයුතු කළ බවට ඕනෑ තරම් තොරතුරු පොලිසියට තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් ඒ තොරතුරු සතුව තිබෙනවා. අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.
මම විපක්ෂ නායකතුමාගෙනුත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙනුත් ඉල්ලා සිටින්නේ මහජන නියෝජිතයෙක් හැටියට, සමාජයේ නීතිගරුක පුරවැසියෙක් වුණා නම් මෙවැනි දේ සිද්ධ වෙන්නේ නෑ කියන එකයි