චීන විදුලි වාහන නිෂ්පාදක BYD සමාගම පැහැදිලි කරන්නේ, මෑතකදී ප්‍රකාශයට පත් කළ ගෝලීය වාහන ආපසු කැඳවීමේ නිවේදනය ශ්‍රී ලංකාවට අදාළ නොවන බවයි.
එම සමාගම සඳහන් කරන්නේ, දැනට ශ්‍රී ලංකාවේ ධාවනය වන කිසිදු BYD මාදිලියකට මෙම තත්ත්වය බලපාන්නේ නැති බව සහතික කර ඇති බවය.
BYD සමාගම විසින් ආරක්ෂාව සහ නිෂ්පාදන ගුණාත්මකභාවය රැක ගැනීමේ අඛණ්ඩ කැපවීමක් ලෙස BYD Tang සහ Yuan Pro වාහන 115,000කට අධික සංඛ්‍යාවක් ආපසු කැඳවීමට තීරණය කර තිබුණා.
එහෙත්, එම ආපසු කැඳවීම 2015 මාර්තු 28 සිට 2017 ජූලි 28 අතර නිෂ්පාදනය කළ විශේෂිත BYD Tang වාහන සහ 2021 පෙබරවාරි 6 සිට 2022 අගෝස්තු 5 අතර නිෂ්පාදනය කළ ඇතැම් Yuan Pro විදුලි වාහන සඳහා පමණක් බව සමාගම සඳහන් කරයි.
මෙම මාදිලි ශ්‍රී ලංකා වෙළෙඳපොළට හඳුන්වා නොදී ඇති බැවින්, එය මෙරට පාරිභෝගිකයින්ට කිසිඳු බලපෑමක් ඇති කරන්නේ නැත.
ශ්‍රී ලංකාවේ BYD වාහන John Keells CG Auto (Pvt) Ltd හරහා පමණක් ආනයනය සහ සේවා සැපයීම සිදු වන අතර, ඔවුන් විසින් උසස් සේවා හා නිෂ්පාදක වගකීම් ආවරණය සහතික කරන බවද සමාගම වැඩිදුරටත් අවධාරණය කරයි.
නිවේදනය අවසන් වන්නේ මෙසේය:
“BYD සමාගම ලොව පුරා සියලුම පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව, විනිවිදභාවය සහ වගකීම් සහගත ක්‍රියාමාර්ග සඳහා කැපවී සිටී.”
