නුවරඑළිය සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කළ සහකාර පොලිස් අධිකාරීවරයෙකු සහ කල්මුණේ සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට අනුයුක්ත කාන්තා පොලිස් සැරයන්වරියක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (05) අත්අඩංගුවට ගෙන ඇත.
කොමිෂන් සභාවට ලැබුණු තොරතුරක් මත සිදුකළ විමර්ශනයකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ.
වෙල්ලාවේලි පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ අවිවාහක පොලිස් කොස්තාපල්වරයෙකුට නිවසේ සිට රාජකාරියට පැමිණීමට මඩකලපුව කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයාගේ අවසරය ලබාගැනීම සඳහා නිර්දේශ සකස් කර දීම වෙනුවෙන්, අවස්ථා කිහිපයකදී ජංගම දුරකථනයක් ඇතුළු ද්‍රව්‍ය සහ රුපියල් 72,000ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගත් බවට ඇති චෝදනාව මත නුවරඑළිය සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කළ සහකාර පොලිස් අධිකාරීවරයා අද පෙරවරු 10.50ට පමණ අත්අඩංගුවට ගෙන ඇත.
එම විමර්ශනයට අදාළව, අවස්ථා කිහිපයකදී ජංගම දුරකථනයක් ඇතුළු ද්‍රව්‍ය අල්ලස් වශයෙන් ලබාගත් බවට ඇති චෝදනාව මත කල්මුණේ සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කරන කාන්තා පොලිස් සැරයන්වරියක් අද සවස 3.00ට පමණ එම කාර්යාලය තුළදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් නුවරඑළිය සහ කල්මුණේ මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් වේ.

