Friday, December 19, 2025
HomeදේශීයGovPay ඩිජිටල් ගනුදෙනු රුපියල් බිලියන 2 ඉක්මවයි

GovPay ඩිජිටල් ගනුදෙනු රුපියල් බිලියන 2 ඉක්මවයි

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ඩිජිටල් ගෙවීම් වේදිකාව වන GovPay හරහා සිදු වූ සමස්ත ඩිජිටල් ගනුදෙනු වටිනාකම 2025 වසර අවසානය වනවිට රුපියල් බිලියන 2 ඉක්මවා ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය නිවේදනය කරයි. විශේෂත්වය වන්නේ අවසන් රුපියල් බිලියනය එකතු වීම දින 45ක් වැනි කෙටි කාලයක් තුළදී වාර්තා වීමයි.

2025 පෙබරවාරි 7 වනදා ආරම්භ කළ දා සිට මේ දක්වා GovPay හරහා ඩිජිටල් ගනුදෙනු 69,000කට අධික සංඛ්‍යාවක් සිදු කර ඇති අතර, රජයේ ආයතන 215කට අයත් රාජ්‍ය සේවාවන් 3,372ක් සඳහා ගෙවීම් සිදු කිරීමට හැකියාව ලැබී ඇත.

එසේම 2025 අප්‍රේල් 10 වනදා හඳුන්වා දුන් මාර්ගගත රථවාහන දඩ ගෙවීමේ ක්‍රමය හරහා ගනුදෙනු 50,000කට අධික සංඛ්‍යාවක් සිදු වී ඇති අතර, එමඟින් රුපියල් මිලියන 66කට වැඩි ආදායමක් උපයාගෙන ඇත.

දැනට බස්නාහිර, දකුණු, උතුරු, වයඹ සහ උතුරු මැද පළාත්වලට අමතරව අධිවේගී මාර්ගවලද මෙම රථවාහන දඩ ගෙවීමේ සේවාව ක්‍රියාත්මක වන අතර, 2026 ජනවාරි මාසයේදී මධ්‍යම පළාත ආරම්භ කරමින් මුළු දිවයින පුරාම ව්‍යාප්ත කිරීමට නියමිතය.

මේ වන විට උතුරු පළාතේ සියලුම පළාත් පාලන ආයතන සහ දකුණු පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මෙම පද්ධතියට සම්බන්ධ වී ඇති බවද සඳහන් වේ. 2026 වසර වනවිට දිවයිනේ සියලුම පළාත් පාලන ආයතන ඩිජිටල්කරණය කිරීම රජයේ ප්‍රධාන ඉලක්කයක් ලෙස දක්වා ඇත.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා පොලීසිය, කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව, මොරටුව විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය 2025 වසර තුළ GovPay වෙත වැඩිම දායකත්වය ලබාදුන් ආයතන අතර වන බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මීට අමතරව, 2025 නොවැම්බර් මාසයේ ඇති වූ ආපදා තත්ත්වයන් හේතුවෙන් ‘ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ ආපදා සහන අරමුදල’ සඳහා රුපියල් මිලියන 14කට ආසන්න මුදලක් රැස් කිරීමටද GovPay වේදිකාව සාර්ථකව දායක වී තිබේ.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ICTA සහ LankaPay එක්ව ක්‍රියාත්මක කරන GovPay ව්‍යාපෘතිය, 2030 වන විට අමෙරිකානු ඩොලර් බිලියන 15ක ඩිජිටල් ආර්ථිකයක් කරා ගමන් කිරීමේ ප්‍රධාන පියවරක් බවද අමාත්‍යාංශය සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments