Friday, January 23, 2026
Homeදේශීයඅරගලකරුවන්ට කෝටි හතරහමාරක් දුන් කතාව බොරු - CIDය පොලිස්පතිට දන්වයි

අරගලකරුවන්ට කෝටි හතරහමාරක් දුන් කතාව බොරු – CIDය පොලිස්පතිට දන්වයි

ගාලුමුවදොර ක්‍රියාකාරී අරගලකරුවන් තිදෙනකුට විදේශයකින් රුපියල් කෝටි හතරහාමාරක මුදලක් ඉකුත් සතියේ ලැබී ඇතැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම තොරතුර ව්‍යාජ තොරතුරක් බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට ඊයේ (18) දැනුම් දී තිබේ.

අරගල භූමියේ සිටින ක්‍රියාකාරිකයන් තිදෙනෙකු වන රැට්ටා, ඩිලාන් සහ කෝනාර යන තිදෙනාට කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි රාජ්‍ය බැංකුවක අලුතින් ආරම්භ කළ ගිණුමකට රුපියල් කෝටි එකහාමාර බැගින් වූ මුදලක් ලැබී ඇති බව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වූ තොරතුරක් ආරක්ෂක බලධාරීන් විසින් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ විශේෂ අවධානයට යොමු කර ඇත.

ඒ අනුව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන්නේ ඒ සම්බන්ධයෙන් තොරතුරු සොයා බලා එම තොරතුර නිවැරදි නම් විමර්ශනයක් පවත්වන ලෙසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඒ අනුව එම සමාජ මාධ්‍ය වාර්තාවල සඳහන් වූ යුනියන් පෙදෙසේ පිහිටි රාජ්‍ය බැංකුවට ගොස් කළ සොයා බැලීමකදී අනාවරණය වී ඇත්තේ එම නම කියැවුණු අරගලකරුවන් එම බැංකුවේ ගිණුම් විවෘත කර නොමැති බවය.

ඒ අනුව පැහැදි වී ඇත්තේ එම බැංකුවේ එවැනි සිදුවීමක් වී නොමැති බවකි. අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් වැඩිදුර සොයා බැලීමක් කර ඇතත් එහිදීද පෙනී ගොස් ඇත්තේ වෙනත් බැංකුවක ඔවුන්ට අයත් ගිණුමකටවත් මේසා විශාල මුදලක් පිටරටකින් හෝ මෙරටින් හෝ තැන්පත් වී නොමැති බවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් ඊයේ (18) පොලිස්පතිවරයාව දැනුවත්කර තිබේ. පොලිස්පතිවරයා ද ඒ ගැන ආරක්ෂක බලධාරීන්ව දැනුම්වත් කර ඇතැයි පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments