ඉන්දියාවේ මේඝාලය ප්‍රාන්තයේ නීතිවිරෝධී ලෙස පවත්වාගෙන ගිය ගල් අඟුරු පතලක සිදුවූ පිපිරීමකින් පතල් කම්කරුවන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
අනතුරින් තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ඇති බවද සඳහන් වේ.
පිපිරීමෙන් පසු තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු පතල තුළ සිරවී ඇති බවට සැක කෙරෙන අතර, ඔවුන් ගලවා ගැනීම සඳහා සෙවීම් හා රැකවරණ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ.
මෙම නීතිවිරෝධී පතල ප්‍රාන්ත අගනුවර වන ෂිලොන්ග් සිට කිලෝමීටර් 72ක් පමණ දුරින් පිහිටි වනාන්තර ප්‍රදේශයක පිහිටා ඇත.
අනතුරට සම්බන්ධ පතල මෙහෙයවූ පුද්ගලයින් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව ඉන්දීය පොලීසිය සඳහන් කර තිබේ.
මේඝාලය ප්‍රධාන අමාත්‍ය කොන්රාඩ් සංග්මා පවසා ඇත්තේ සිද්ධියට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ට දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබන බවයි.
එමෙන්ම, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් මියගිය පුද්ගලයින්ගේ පවුල් සඳහා ඉන්දීය රුපියල් ලක්ෂ 2 බැගින් සහ තුවාල ලැබූවන් සඳහා රුපියල් 50,000 බැගින් මූල්‍යාධාරයක් ලබාදීමට තීරණය කර ඇත.
ඉන්දීය ජාතික හරිත විනිශ්චය සභාව විසින් 2014 වසරේදී මේඝාලය ප්‍රාන්තයේ නීතිවිරෝධී කැණීම් තහනම් කර තිබුණද, එම තහනම නොතකා බොහෝ ප්‍රදේශවල මෙවැනි කැණීම් සිදුව ඇති බවද මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

