Friday, September 20, 2024
Homeව්‍යාපාරිකගාසා ගැටුම් හමුවේ බොරතෙල් මිල ඉහළට

ගාසා ගැටුම් හමුවේ බොරතෙල් මිල ඉහළට

ගාසා රෝහලට එල්ල වූ මාරාන්තික ප්‍රහාරයෙන් පසු ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද (18) උදෑසන 2%කින් පමණ ඉහළ ගියේ, තෙල් බැරලයක මිල ඩොලර් 91යි ශත 65ක් ලෙස සටහන් කරමිනි.

අමෙරිකානු WTI තෙල් බැරලයක මිල ද ඩොලර් 88යි ශත 57ක් ලෙස 2.2%කින් පමණ ඉහළ ගොස් ඇත.

රෝහලට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඊජිප්තු, ජෝර්දාන, පලස්තීන නායකයන්  සහ ජනපති ජෝ බයිඩන් අතර සමුළුව අවලංගු කිරීම පිළිබඳ වෙළෙඳපොළ විශ්ලේෂකයන් අදහස් පළ කර තිබේ.

එලෙස එම සමුළුව අවලංගු වීම ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ගැටුමට රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් ලබාගැනීමේ අවස්ථාවන් අවම කර ඇති බව ඔස්ට්‍රේලියානු පොදු රාජ්‍ය මණ්ඩලීය බැංකුවේ විශ්ලේෂක විවේක් ධාර් ප්‍රකාශ කළේ, සිය ගනුදෙනුකරුවන්ට තැබූ සටහනකිනි.

ගෝලීය වෙළෙඳපොළ දැඩි අවිනිශ්චිතභාවයකින් සිටින්නේ, ගාසා තීරයේ ඊශ්‍රායල ගොඩබිම් මෙහෙයුම් ආරම්භ වුවහොත් තත්ත්වය තවදුරටත් උත්සන්න විය හැකි වීම හේතුවෙනි.

විශේෂයෙන් ඊශ්‍රායල හමුදා ගාසා තීරය ආක්‍රමණය කර එය දිගුකාලීන ව අත්පත් කරගෙන සිටීමේ තත්ත්වයක් ඇති වුවහොත් ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවනු ඇති බව ඔස්ට්‍රේලියානු පොදුරාජ්‍ය මණ්ඩලීය බැංකුවේ විශ්ලේෂකයා වැඩිදුරටත් සඳහන් කරයි.

ලොව විශාලතම ඛනිජතෙල් නිෂ්පාදකයකු සහ පාරිභෝගිකයකු වන අමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂිත තෙල් සංචිතය ද බැරල් මිලියන 4.4කින් පහත වැටීම ද තෙල් මිල වැඩි වීමට බලපාන කරුණකි.

එමෙන්ම ලොව දෙවැනි විශාලතම බලශක්ති පාරිභෝගිකයා වන චීනයේ තුන් වැනි කාර්තුවේ ආර්ථික වර්ධනය අපේක්ෂිත මට්ටමට වඩා ඉහළ යාම ද තෙල් සඳහා ඉල්ලුම වැඩි වීමට හේතු වී ඇත.

කෙසේ නමුත් මෙලෙස ආර්ථික ක්‍රියාකාරකම් ඉහළ යාම හේතුවෙන් චීනයේ තෙල් පිරිපහදු කිරීම ද පසුගිය මාසයේදී 12%කින් ඉහළ ගොස් ඇති බව අනාවරණය වේ.  

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments