මාධ්‍ය සංදර්ශන නොපවත්වා රටේ ජාතික ආරක්ෂාව තහවුරු කර ජනතාවට පොරොන්දු වුණ සහන ලබාදීමට වහාම කටයුතු කරන ලෙස සමගි ජනබලවේගය රජයෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගය මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය. එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (24 දා) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වූ හෙතෙම එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.
මෙම වසර තුළ වෙඩි තැබීම් 112ක් සිදුවෙලා ඒ අතරින් 60ක් ඝාතනය වෙලා තිබෙනවා. ඒ වගේම 2014 දී වෙඩි තැබිම්වලින් මනුෂ්‍ය ඝාතන 51ක් සිදුවෙලා තිබෙනවා. 2015 දී වෙඩි තැබීම්වලින් මනුෂ්‍ය ඝාතන 51ක්ද, 2016 දී වෙඩි තැබීම්වලින් මනුෂ්‍ය ඝාතන 58ක්ද, 2017 වෙඩි තැබීම්වලින් මනුෂ්‍ය ඝාතන 41ක්ද, 2018 පළමු මාස 11 දී වෙඩි තැබීම්වලින් මනුෂ්‍ය ඝාතන 38ක් සිදුවෙලා තිබෙනවා. නමුත් ජාතික ජනබලවේග ආණ්ඩුවේ පළමු වසර තුළ 60 දෙනකු වෙඩි තබා ඝාතනය කරලා තිබෙනවා.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට තිබෙන චෝදනා පිළිබඳව මහජන ආරක්ෂක ඇමැතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණා. කෙසේ නමුත් නඩු කටයුතු තිබෙන, චෝදනා තිබෙන පිරිස් වෙඩි තබා ඝාතනය කිරීම ඇමැතිවරයා අනුමත කරනවාදැයි කියලා අපි ආණ්ඩුවෙන් අහන්න කැමැතියි. ඒ වගේම වර්තමාන ආණ්ඩුවේ සිටින මැති ඇමැතිවරුන්ගෙන් බහුතරයක් කඳවුරුවල පිරිස්. ඒ වගේම 88 – 89 කාලයේදී සිදුවුණ අපරාධවලට සම්බන්ධ දැයි පරීක්ෂණ පැවැත්විය යුතුව තිබෙනවා. ඒ වගේම 88 – 89 භීෂණයට සම්බන්ධ වුණ පිරිස් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයෙත් නිරත වෙනවා. මොවුන්ට නිදහසේ දේශපාලනය කරන්න අවස්ථාව ලබා දුන්නේ ජේ. ආර්. ජයවර්ධන මහතා. 88 – 89 කැරැල්ලේදී චෝදනා ලැබූ විශාල පිරිසකට දේශපාලනය කරන්න ප්‍රේමදාස ජනාධිපතිවරයා කටයුතු කරනු ලැබුවා. කෙසේ නමුත් නිසියාකාර පරීක්ෂණ සිදුකළා නම් ආණ්ඩුවේ සිටින බහුතරයක් අද සිරගෙවල්වල.
වෙඩි ප්‍රහාරයකින් මියගිය වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මහජන ඡන්දයෙන් ප්‍රජාතන්ත්‍රවාදිවයි දේශපාලනයට පිවිස තිබෙන්නේ. මහජන දිනය දවසෙයි ඔහුව වෙඩි තබා ඝාතනය කර තිබෙන්නේ. ඔහුට චෝදනා තිබුණානම් ඒ සම්බන්ධයෙන් විමර්ශන කරන්න ආණ්ඩුවට හැකියාව තිබුණා. මෙම ඝාතනය සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් පවත්වා ඝාතකයන් අත්අඩංගුවට ගන්න රජය කටයුතු කළ යුතුයි. මෙවැනි තත්ත්වයක් තමයි අද රට තුළ තිබෙන්නේ. රටේ මහජන ආරක්ෂාව පිළිබඳව තිබෙන ප්‍රශ්නකාරී තත්ත්වය හේතුවෙන් ජනතාවට බියෙන් ජිවත් වෙන්න සිදුවෙලා තිබෙනවා. රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න ආණ්ඩුව කටයුතු කළ යුතුයි
