Thursday, November 20, 2025
Homeදේශීයත්‍රි’මලේ ප්‍රශ්නය සාමකාමිව විසඳා ගන්න…අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල දෙපාර්ශ්වයටම දැනුම්දෙයි

ත්‍රි’මලේ ප්‍රශ්නය සාමකාමිව විසඳා ගන්න…අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල දෙපාර්ශ්වයටම දැනුම්දෙයි

ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ කොටසක් කඩා ඉවත් කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන නියෝගයක් ක්‍රියාත්මක වීම වළක්වන ආඥාවක් ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම සලකා බැලීමට දෙසැම්බර් 16 දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.

එම විහාරයේ විහාරාධිපති ත්‍රිකුණාමලයේ කල්‍යාණ වංශ තිස්ස හිමියන් විසින් ඉදිරිපත් කර තිබූ එම පෙත්සම ඊයේ (19) ධම්මික ගනේපොල සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ ඉසුරු එදිරිසිංහ මහතාගේ උපදෙස් මත පෙනී සිටි නීතිඥ ෂේන් ෆොස්ටර් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කාර විහාරාධිපති හිමියන්ගේ විහාරය පිහිටි භූමිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රදානයක් වශයෙන් ලබාදී තිබූ බව සඳහන් කළේය. ඉකුත් ජූලි 18 දා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය සේවාදායකයා වෙත ලිපියක් එවමින් අදාළ ඉඩමේ තිබෙන අනවසර ඉදිකිරීම කඩා ඉවත් කිරීමට නියෝග කර තිබෙන බව ද නීතිඥවරයා කියා සිටියේය.

ඊට එරෙහිව සිය සේවාදායකයා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත වෙරළ සංරක්ෂණ පනත ප්‍රකාරව අභියාචනා ඉදිරිපත් කළත් එම අභියාචනය නිෂ්ප්‍රභ කෙරුණු බව ද නීතිඥවරයා පැවසීය. පෙත්සම්කාර විහාරාධිපති හිමියන්ට සවන් දීමකින් හෝ උන්වහන්සේගෙන් කරුණු විමසීමකින් තොරව අභියාචනය නිෂ්ප්‍රභ කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවට නීතිඥවරයා චෝදනා කළේය.

අනතුරුව වගඋත්තරකාර වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරල්වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරල් මනෝහර ජයසිංහ මහතා කරුණු දක්වමින් මෙම විහාරස්ථාන භූමිය සඳහා අනුමත සැලසුමක් තිබෙන බවත් එම අනුමත සැලසුමට ඔබ්බෙන් ගොස් නව ඉදිකිරීම් සිදුකිරීම නීතියට පටහැනි ක්‍රියාවක් බවත් එවැනි ඉදිකිරීම් ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ පනත යටතේ වගඋත්තරකරුවන්ට බලය තිබෙන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේය.

මෙහිදී විනිසුරු ධම්මික ගනේපොල මහතා මෙම ගැටලුව සාමකාමී ආකාරයෙන් විසඳා ගැනීම සුදුසු බවත් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම ස්ථානයට යොමු කොට එම භූමියේ ඉදිකිරීම් පිළිබඳව අධ්‍යයනය කර එහි යම් ගැටලුවක් තිබෙනවාදැයි සොයා බැලීම යෝග්‍ය බව විනිසුරුවරයා පාර්ශ්වකරුවන්ට යෝජනා කළේය.

ඒ අනුව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අදාළ භූමිය යළි පරීක්ෂා කර ඊට අදාළව නිරීක්ෂණ ලබාගැනීමටත් ඉන්පසුව ඉදිරි පියවර සම්බන්ධයෙන් තීරණයක් ගැනීමටත් දෙපාර්ශ්වයේ නීතිඥවරු අධිකරණය හමුවේ එකඟතාව පළ කළහ.

මෙම කටයුතු ඉටු කිරීමට සති දෙකක් ලබා දෙන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම කටයුතු අවසන් වන තුරු පාර්ශ්වකරුවන් අනවශ්‍ය ගැටලුවලට මැදිහත් නොවී සාමය ආරක්ෂා කර ගැනීමට වගබලා ගත යුතු බව මෙහිදී විනිසුරුවරු දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ට දැනුම් දුන්හ. එවැනි කටයුතු හරහා යම් අවාසනාවන්ත සිද්ධියක් මතු වුවහොත් එමගින් රටට විශාල හානියක් සිදුවන බවත් මෙහිදී විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ට පෙන්වා දුන්නේ ය.

ඒ අනුව පෙත්සම සලකා බැලීම සඳහා දෙසැම්බර් 16 දා කැඳවීමට නියෝග කළ විනිසුරු මඩුල්ල එම කටයුතුවල ප්‍රගතිය එදිනට දැනුම් දෙන ලෙස පාර්ශ්වකරුවන්ට නියෝග කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments