ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතාගෙන් නිදහසට කරුණු විමසා එම පක්ෂයේ සභාපතිවරයා විසින් නිකුත් කර තිබෙන ලිපියක් ක්‍රියාත්මක වීම වළක්වාලමින් නිකුත් කළ වාරණ නියෝගය අත්හිටුවීමට කොළඹ දිසා අධිකරණය අද (26) නියෝග කළේය.
දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව ඔක්තෝබර් මස 05 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින් ඉකුත්දා මෙම වාරණ නියෝගය නිකුත් කර තිබුණි.
එහෙත් දයාසිරි ජයසේකර මහතා වෙත මෙවැනි ලිපියක් නිකුත් කිරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාවට බලය තිබෙන බව විත්තිකාර මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියේය.
පැමිණිලිකරු සත්‍ය කරුණු වසන් කරමින් මෙම වාරණ නියෝගය ලබාගෙන තිබෙන බැවින් එම වාරණ නියෝගය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥ මුස්තාෆා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම කරුණු සලකා බැලූ දිසා අධිකරණය අදාළ වාරණ නියෝගය අත්හිටුවන ලෙස අද නියෝග කළේය.
අනතුරුව නඩුව නැවත නොවැම්බර් මස 05 වනදා කැඳවන ලෙසත් විනිසුරුවරයා නියෝග කර තිබේ.
දයාසිරි ජයසේකර මහතා අධිකරණය හමුවේ ගොනුකළ පැමිණිල්ල තුළින් දැනුම් දී තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කඩ කළේ යැයි චෝදනා කරමින් තමාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වන බවත් ඊට අදාළව නිදහසට කරුණු දක්වන ලෙස දන්වා ඉකුත් 18 වනදා පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලිපියක් නිකුත් කර ඇති බවය.
එවැනි නිදහසට කරුණු ඉල්ලා ලිපියක් යොමු කිරීමට පක්ෂයේ සභාපතිවරයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව යටතේ බලයක් නොමැති බව දයාසිරි ජයසේකර මහතා කියාසිටී.
ඒ අනුව අදාළ ලිපිය නීතිවිරෝධී බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා දයාසිරි ජයසේකර මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි (ada derana).