පසුගිය සති කිහිපය පුරා දේශපාලන කරළියේ දැඩි අවධානයට ලක්වූ ආණ්ඩු විරෝධී රැලිය ලබන 21 වැනිදා නුගේගොඩදී පැවැත්වීමට නියමිතය. විපක්ෂයේ පක්ෂ කිහිපයක් ඒකාබද්ධව සංවිධානය කරන මෙම රැලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති සීතල යුද්ධය මේ වන විට තීරණාත්මක අඩියකට පැමිණ තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම රැලියට සහභාගී වීම වැළැක්වීම සඳහා පොහොට්ටුව විසින් දැඩි කොන්දේසියක් පනවා තිබුණි. එනම්, හිටපු ජනාධිපතිවරුන් කිසිවෙකු මෙම රැලියට සහභාගී නොවිය යුතු බවයි. මෙම කොන්දේසිය නොතකා රනිල් වික්‍රමසිංහ මහතා රැලියට එක්වන්නේ නම්, තමන් ඊට සහභාගී නොවන බව පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින්ට ප්‍රසිද්ධියේම දන්වා තිබූ බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි
නුගේගොඩ රැලිය හරහා විපක්ෂයේ නායකත්වය තමන් වෙත ලබා ගැනීමේ සැලසුමක් රනිල් වික්‍රමසිංහ මහතා සතුව තිබූ බව පෙනී යයි. මුලින් සජබය සහ සජිත් ප්‍රේමදාස මහතා ඊට සම්බන්ධ කර ගැනීමට ඔහු උත්සාහ කළද, දේශපාලන හේතූන් මත ඔවුන් එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇත. අනතුරුව නාමල් රාජපක්ෂ මහතා ඉදිරියට දමා පොහොට්ටුවේ සහාය ලබා ගැනීමට උත්සාහ කළද, අවසානයේදී එම උපාය මාර්ගයද අසාර්ථක වී තිබේ.
පසුගිය ජනාධිපති ධූර කාලය තුළ රනිල් වික්‍රමසිංහ මහතා පොහොට්ටුවේ සහාය ලබමින්ම එම පක්ෂය සහ රාජපක්ෂ පවුලේ දේශපාලන බලය දුර්වල කිරීමට කටයුතු කළ බවට පොහොට්ටුව පාර්ශවයෙන් චෝදනා එල්ල වේ. විශේෂයෙන්ම පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට ඇමතිකම් ලබා දී පක්ෂය දෙකඩ කිරීම සහ පසුගිය ජනාධිපතිවරණයේදී පොහොට්ටුවේ ඡන්ද පදනම 3% දක්වා පහත වැටීමට සැලැස්වීම මෙම විරසකයට ප්‍රධාන හේතුවක් වී ඇත. කෙසේ වෙතත්, මේ වන විට පොහොට්ටුවේ අහිමි වූ ඡන්ද පදනමෙන් 95% ක් පමණ නැවත දිනා ගැනීමට නාමල් රාජපක්ෂ මහතා සමත්ව ඇති බව ඔවුන් දැන් ප්‍රකාශ කර තිබේ.
පසුගිය බදාදා පැවති මාධ්‍ය හමුවකදී පොහොට්ටුවේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා තහවුරු කළේ ලබන 21 වැනිදා රැලියට හිටපු ජනාධිපතිවරුන් සහභාගී නොවන අතර ඔවුන්ගේ ආශිර්වාදය පමණක් හිමිවන බවයි.
රනිල් වික්‍රමසිංහ මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් රැලියට සහභාගී නොවන බව ඔහුගේ පාර්ශවයෙන් ප්‍රකාශ කළද, දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ නාමල් රාජපක්ෂ මහතාගේ විරෝධය ඊට ප්‍රධාන හේතුව බවයි. මේ අනුව නුගේගොඩ රැලියේ පූර්ණ පාලනය නාමල් රාජපක්ෂ මහතා යටතට පත්ව ඇති අතර එය පොහොට්ටුවේ රැලියක් බවට පරිවර්තනය වී ඇත.
මේ අතර, එක්සත් ජාතික පක්ෂය තුළද රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතී. පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා සියලු දේශපාලන කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර ඇති අතර, නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස්වන බවට පක්ෂ නායකත්වයට දැනුම් දී ඇති බව වාර්තා වේ. මෙම තත්ත්වය පක්ෂය තුළ ඇති වෙමින් පවතින විරෝධයේ ප්‍රබල සංඥාවක් ලෙස සැලකේ.
එජාපයේ තවත් ජ්‍යෙෂ්ඨයෙකු වන නවීන් දිසානායක මහතාද නුගේගොඩ රැලියට සහභාගී නොවන බව ප්‍රකාශ කර ඇති අතර, රාජිත සේනාරත්න මහතාද පොහොට්ටුව සමග දේශපාලනය කිරීමේ ගැටලු පිළිබඳව අනතුරු අඟවා තිබේ. රනිල්-වජිර-සාගල කණ්ඩායමට එරෙහිව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් දැඩි තීන්දුවක් ගැනීමේ සූදානමක් පවතින අතර, සජබ-එජාප සමගිය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් විය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වීමට නියමිත බවද අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
විපක්ෂයේ බලය අත්පත් කර ගනිමින් නැවත වරක් රටේ ඉහළ තනතුරක් ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා දැරූ උත්සාහයන් ව්‍යර්ථ වෙමින් පවතින බව මෙම සිදුවීම් මාලාවෙන් පැහැදිලි වේ. ආර්ථික අර්බුදයක් ගැන බිය ගන්වා බලය ලබා ගැනීමට දැරූ උත්සාහය අසාර්ථක වීමත්, පොහොට්ටුව සමග එක්වීමට දැරූ උත්සාහය නාමල් රාජපක්ෂ මහතා විසින් ව්‍යර්ථ කිරීමත් ඔහුට විශාල දේශපාලන පසුබෑමක් වී ඇත.

