මෑත කාලයේ පොලිස් සේවයේ විවිධ ශ්‍රේණි සඳහා සිදුකළ උසස්වීම් අභියෝගයට ලක්කරමින් උසස්වීම් නොලද පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් 1,050කට ආසන්න පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 40ක් පමණ නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ සම්පත් විජේරත්න යන විනිසුරුවරුන්ගේ එකඟත්වය මත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා විසින් මෙම තීන්දුව ඊයේ (08) ප්‍රකාශයට පත් කළේය.
2019, 2020, 2021 සහ 2023 යන වසරවල එවකට පොලිස්පතිවරුන් ලෙස කටයුතු කළ පූජිත් ජයසුන්දර, සී.ඩී. වික්‍රමරත්න සහ දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ගේ පාලන සමයන්හි සිදුකළ උසස්වීම් මෙම පෙත්සම් මගින් අභියෝගයට ලක්කර තිබුණි.
පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් සැරයන් තනතුර දක්වාත්, පොලිස් සැරයන් තනතුරේ සිට උප පොලිස් පරීක්ෂක තනතුර දක්වාත්, උප පොලිස් පරීක්ෂක තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුර දක්වාත් සිදුකළ උසස්වීම් මෙලෙස අභියෝගයට ලක්කර තිබේ.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඬුල්ල සඳහන් කර ඇත්තේ, අදාළ උසස්වීම් ලබාදීමේදී අක්‍රමිකතා සිදුවූ බවට අධිකරණය සෑහීමකට පත් කළ හැකි තොරතුරු පෙත්සම්කරුවන් විසින් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බවයි.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට ඇති මූලික අයිතිවාසිකම උල්ලංඝනය වී ඇති බව තහවුරු කිරීමට පෙත්සම්කරුවන් අසමත් වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර තිබේ.
එම කරුණු මත අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

