දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට අද (27) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දී ඇති බව වාර්තා වෙයි.
කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා ඉදිරියේ මෙම චෝදනා භාරදීම සිදුව ඇති අතර, පෙර නිකුත් කළ සිතාසියකට අනුව විත්තිකරු අධිකරණය හමුවට පෙනී සිට ඇත.
අධිචෝදනා භාරදීමෙන් අනතුරුව, විත්තිකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබේ. එමෙන්ම ඔහුගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද නියම කර ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ගොනු කළ චෝදනා අනුව, 2016 දී ලංකා පොහොර සමාගමේ සේවය කරමින් සිටියදී ප්‍රසම්පාදන ක්‍රියාවලියකදී පුද්ගලික සමාගමකට වාසියක් ලබාදීමෙන් රජයට රුපියල් 8,859,708 ක පාඩුවක් සිදුකළ බවට ඔහුට චෝදනා එල්ල වී ඇත.
එමෙන්ම, අල්ලස් හෝ දූෂණ විරෝධී පනතේ 70 වැනි වගන්තිය යටතේ ‘දුෂණය’ නමැති වරදටද ඔහුට එරෙහිව චෝදනා නඟා ඇති බව සඳහන් වේ.
මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා මැයි 6 වනදා යළි කැඳවීමට නියමිතය.
බලශක්ති ඇමති කුමාර ජයකොඩිට අධි චෝදනා භාර දී ශරීර ඇප මත මුදාහැරේ

