Thursday, November 13, 2025
Homeදේශීයමුල් මාසයේම QR ක්‍රමයට තේ පොහොර ලබාදීමේ ඉහළ ප්‍රගතියක්

මුල් මාසයේම QR ක්‍රමයට තේ පොහොර ලබාදීමේ ඉහළ ප්‍රගතියක්

තේ කර්මාන්තයේ ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදීමේදී ඇතිවූ ගැටළු නිරාකරණය සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය හඳුන්වා දුන් QR ක්‍රමය මේ වනවිට ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇතැයි එම අමාත්‍යාංශය පවසයි.

2030 වසර වන විට ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය කිලෝ මිලියන 400ක් දක්වා, තේ අපනයන ආදායම ඩොලර් බිලියන 2.5ක් දක්වා ඉහළ නැංවීම අරමුණක් කරගෙන මෙම QR ක්‍රමය යටතේ නව පොහොර බෙදාදීම පසුගිය ඔක්තෝබර් 1 සිට දිවයින පුරා ආරම්භ කර ඇත.

පැරණි ක්‍රමයට බඳුන වූ ගැටළු ලෙස පොහොර සංස්ථාවෙන් පමණක් ලබාදීම, ඉඩම් ප්‍රමාණය අනුව පරිමාව තීරණය කිරීම ආදී කරුණු හේතුවෙන් QR ක්‍රමය හඳුන්වා දීමට අමාත්‍යාංශය පසුගිය සැප්තැම්බර් මාසයේදී පියවර ගත්ය.

නව ක්‍රමය යටතේ, මාස තුනක දළු ප්‍රමාණයේ සාමාන්‍යය අගය මත පොහොර ප්‍රමාණය තීරණය කෙරෙන අතර, රජය විසින් කිලෝග්‍රෑම් 50ක් පොහොර මිටියක් සඳහා රුපියල් 4,000ක්ද, කිලෝග්‍රෑම් 25ක් මිටියක් සඳහා රුපියල් 2,000ක්ද සහන ලෙස ලබාදෙන බවත් සඳහන් වේ.

මෙම ක්‍රියාවලිය හරහා ඔක්තෝබර් 31 වන විට අයදුම්පත් 95,230ක් ලැබී ඇති අතර, එයින් 67,056ක් ලියාපදිංචි කර ඇත.

ඒ අතරින් ගොවීන් 49,548ක් සඳහා QR කේත ලබාදී සහනාධාර තේ පොහොර මෙට්‍රික් ටොන් 187.4ක් බෙදාදී ඇති අතර, එය ප්‍රතිශත 49.33ක් වන ප්‍රගතියක් බව අමාත්‍යාංශය පැවසීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments