රාජ්‍ය සේවයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ හිඟය, අවශ්‍ය පහසුකම් නොමැතිකම සහ අයවැයෙන් සාධාරණ දීමනා ලබා නොදීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් නොවැම්බර් 17 වැනිදා ලෙඩ නිවාඩු වාර්තා කිරීමට තීරණය කර ඇති බව රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.එම සංගමයේ සභාපති උපුල් රංජිත් කුමාර මහතා සඳහන් කළේ රාජ්‍ය සේවයේ පශු වෛද්‍ය නිලධාරීන් 931 දෙනෙකු සිටිය යුතු වුවද මේ වන විට සේවයේ නිරතව සිටින්නේ 600ක පමණ පිරිසක් බවයි.නිලධාරීන්ගේ හිඟය හේතුවෙන් 931 දෙනෙකු විසින් ඉටුකළ යුතු රාජකාරි ප්‍රමාණය දැනට සේවයේ සිටින නිලධාරීන්ට ඉටුකිරීමට සිදුව ඇති නමුත් ඒ වෙනුවෙන් සාධාරණ දීමනාවක් හෝ ඇගයීමක් ලැබී නොමැති බවද ඔහු පෙන්වා දී තිබේ.2027 අයවැයට පෙර අමතර රාජකාරි දීමනාවක් ලබාදෙන ලෙස රජයට යෝජනා කළද ඒ සම්බන්ධයෙන් අයවැයෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබුණු බව සංගමය පවසයි.එමෙන්ම පශු වෛද්‍ය නිලධාරීන්ට මූලික කාර්යාල පහසුකම් පවා ප්‍රමාණවත් ලෙස නොලැබෙන බවත්, ඇතැම් ප්‍රදේශවල අබලන් කාර්යාලවල හෝ කුලී පදනම මත ලබාගත් ස්ථානවල සේවා පවත්වාගෙන යන බවත් සඳහන් කර ඇත.ක්ෂේත්‍ර රාජකාරි සඳහා ප්‍රමාණවත් නිල වාහන නොමැති බැවින් ඇතැම් නිලධාරීන්ට පෞද්ගලික වාහන භාවිත කිරීමට හෝ ත්‍රිරෝද රථ කුලියට ගැනීමට සිදුවන බවද සභාපතිවරයා පවසා තිබේ.සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව රටේ ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරාලීමට විශාල දායකත්වයක් ලබාදෙන බවත්, එම අවශ්‍යතාවයෙන් සියයට 90ත් 95ත් අතර ප්‍රමාණයක් කුඩා හා මධ්‍ය පරිමාණ ගොවි ජනතාව හරහා සැපයෙන බවත් ඔහු සඳහන් කළේය. එම ගොවීන්ට අවශ්‍ය සේවා සැපයීමේ ප්‍රධාන වගකීම පැවරී ඇත්තේ පශු වෛද්‍ය නිලධාරීන්ට බවද ඔහු පෙන්වා දුන්නේය.මෙම ගැටලු සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයාට සහ අමාත්‍ය ලාල්කාන්ත මහතාට අවස්ථා කිහිපයකදී කරුණු ඉදිරිපත් කළද නිසි මැදිහත්වීමක් සිදුව නොමැති බවටද සංගමය චෝදනා කරයි.නව නිලධාරීන් බඳවා ගැනීම ප්‍රමාණවත් නොවීමත්, දැනට සේවයේ සිටින නිලධාරීන් වයස අවුරුදු 60 සම්පූර්ණ වීමට පෙර සේවයෙන් ඉවත්වීමේ ප්‍රවණතාවක් පැවතීමත් තවත් ගැටලුවක් බව සභාපතිවරයා සඳහන් කර තිබේ.ඉදිරි වෘත්තීය ක්රියාමාර්ගනොවැම්බර් 17 වැනිදා ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ ක්‍රියාමාර්ගයෙන් පසුවද රජය සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අවධානය යොමු නොකරන්නේ නම්, 2027 වසරට අදාළ සියලු සංවර්ධන වැඩසටහන්වලින් ඉවත්වීමට සංගමයේ විධායක සභාව ඒකමතිකව තීරණය කර ඇත.ඒ අනුව පළාත් මට්ටමින් ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහන්වලින් මෙන්ම රේඛීය අමාත්‍යාංශය, ප්‍රධාන කාර්යාලය සහ අනෙකුත් රාජ්‍ය ආයතන හා අමාත්‍යාංශ මඟින් ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහන්වලින්ද ඉවත්වීමට නියමිතය.තවද නොවැම්බර් මාසයේ සිට සියලු වාර්තා ඉහළට ඉදිරිපත් කිරීම අත්හිටුවීමටත්, දේශපාලන මැදිහත්වීම් සහිත ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ඇතුළු රැස්වීම්වලට සහභාගී නොවීමටත් තීරණය කර ඇති බව සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

