වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය ලබා ගැනීමට ආණ්ඩුව දැරූ විවිධ උත්සහ අසාර්ථක වූ නිසා විපක්ෂයෙන් බලයට පත් වූ සභාපති ඝාතනය කර හෝ බලය ලබා ගැනීමට කටයුතු කරනවා ද යන සාධාරණ සැකයක් මතු වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දුමින්ද දිසානායක පැවසීය.
පසුගිය කාලය පුරා වැලිගම ප්‍රාදේශීය සභාව හා ජාතික ජන බලවේගයේ ඇතැම් මැති ඇමතිවරු අතර ඇති වූ විවිධ සිදුවීම් දෙස බැලීමේදී මේ සැකය මතු වන නිසා එය දුරු කිරීම සඳහා ආණ්ඩුව වහාම කටයුතු කළ යුතු යැයි ද ඔහු අවධාරණය කළේ ය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (ඔක්. 22) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙක් නැඟු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේ ද කීය.
“ඒ ප්‍රාදේශීය සභාවේ බලය මාලිමාවට ලබාගන්න දත කෑව ද නැද්ද කියලා අපි දැක්කා. ඡන්දය වෙලාවෙදි පැහැරගෙන ගියා. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාගේ ගෙදරට වෙඩි තිබ්බා. එතුමා වොයිස් කට් දීලා තිබුණා. මේ වෙඩි තිබ්බේ අපේ ම අය ද දන්නේ නැහැයි කියලා. ඒවා ප්‍රවෘත්තිවල පළ වුණා. මේ වෙඩි තිබ්බේ අපේ ම අය ද කියලා මට සැකයි කියලා එතුමා කාත් එක්ක දෝ දුරකතනයෙන් කතා කරන හඬ පටයක් රූපවාහිනී නාළිකාවල පළ වුණා. ඒ වගේ ම එදා සභාපති තෝරන දවසේ කවුද සභාවේ හිටියේ. ජනතා විමුක්ති පෙරමුණේ මැති ඇමැතිවරු පවා හිටියා. අපේ පක්ෂවලත් අපේ ආසන සංවිධායකවරු ගියා. ඒත් අපි පේන්න ගියේ නැහැ. හැබැයි වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය ලබා ගැනීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ විශාල උනන්දුවක්. උත්සාහයක් දැරුවා. ඒක නැහැ කියන්න බෑ.
ඒ ගොල්ලෝ උත්සාහ දැරුවට විපක්ෂයෙන් තමයි සභාපතිවරයා පත්වුණේ. එතකොට ඊයේ ඔහුව ඝාතනය කරනවා. ඡන්දෙන් මේ බලය ගන්න උත්සාහ කළා. ඊට පස්සේ වෙනත් උපක්‍රම යෙදුවත් මේ බලය විපක්ෂයට ගියා. හැබැයි අද වෙන කොට විපක්ෂයේ හිටපු සභාපතිවරයාව තමන්ගේ කාර්යාලයට ම ඇවිල්ලා වෙඩි තියලා මරලා. මේක ආණ්ඩුවේ මර්දනයේ දෙවන අදියර ද කියලා අපට සැකයක් තියෙනවා. අපි ආණ්ඩුවට කියනවා මේක අපිට හොයලා දෙන්න.