වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක වේ. මෙම ඝාතනයට සම්බන්ධ වූ වෙඩික්කරු සහ යතුරුපැදිකරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ට සැඟවී සිටීමට සහය ලබා දුන් පුද්ගලයන්ද ඇතුළුව හත් දෙනෙකු පමණ මේ වන විට අත්අඩංගුවේ පසුවේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාසය, රාජ්‍ය බුද්ධි සේවය, විශේෂ කාර්ය බළකාය සහ ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව දියත් කළ ඒකාබද්ධ මෙහෙයුමකින් මෙම සැකකරුවන් අල්ලාගෙන තිබේ.
අත්අඩංගුවට පත් ප්‍රධාන සැකකරු විසින් සිදුකළ ප්‍රකාශයකට අනුව, මෙම ඝාතන කොන්ත්‍රාත්තුව තමන්ට ලබා දෙන ලද්දේ ‘ඩුබායි ලොක්කා’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකු බව හෙළි කර ඇත. රුපියල් ලක්ෂ 20ක මුදලකට මෙම කොන්ත්‍රාත්තුව ලබා දී ඇති අතර, ඝාතනය සිදු වූ ඔක්තෝබර් 22 වන දින ඉන් රුපියල් ලක්ෂ 12ක මුදලක් ගෙවා ඇති බවද අනාවරණය වී තිබේ.
ඝාතනයෙන් පසු පලා යමින් සිටි වෙඩික්කරු, පසුව බොරැල්ල, රාජගිරිය හරහා මහරගම – නාවින්න ප්‍රදේශයට පැමිණ තිබේ. එහිදී, ඩුබායි ලොක්කා විසින් තවත් රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් නාවින්න බස් නැවතුම්පළ අසල කසළ බඳුනක දමා ගොස් ඇත. එම මුදල ලබා ගැනීමට සැකකරු පැමිණි අවස්ථාවේදී, විද්‍යාත්මක තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ ඔහුව ලුහුබැඳ ගිය පොලිස් කණ්ඩායම් විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.
මෙතෙක් පාතාල අපරාධ සඳහා සෘජුව මැදිහත් නොවී, සැඟවුණු චරිතයක් ලෙස කටයුතු කළ මෙම ඩුබායි ලොක්කා, චතුර කුමාර නමින් හඳුන්වන වැයකඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු මේ වන විට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින බවට තොරතුරු වාර්තා වේ. මොහු ප්‍රධාන වශයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මිදිගම රුවන්ගේ කළමනාකරු ලෙස කටයුතු කර ඇති අතර, රුවන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම සහ අනෙකුත් කටයුතු මෙහෙයවා ඇත්තේ චතුර කුමාර විසිනි
මිදිගම රුවන් අත්අඩංගුවට ගෙන බූස්ස බන්ධනාගාරගත කිරීමෙන් පසුව, ඔහුගේ මත්ද්‍රව්‍ය ජාලය සහ මුදල් එකතු කිරීම් සියල්ල සිදු කර ඇත්තේ ඩුබායි ලොක්කා විසිනි. ඊට අමතරව, රුසියාවේ බන්ධනාගාරගතව සිටින රොටුඹේ අමිල නමැත්තාගේ කටයුතුද මොහු විසින් මෙහෙයවන බවට තොරතුරු ඇත. මිදිගම රුවන්ගේ ‘දකුණු අත’ ලෙස සැලකෙන මොහු, රුවන්ගේ අතිශය විශ්වාසවන්තම ගෝලයා ලෙස ප්‍රකටය.
දකුණේ පාතාලය තුළ, ඩුබායි ලොක්කා යමක් පැවසීම මිදිගම රුවන් විසින්ම පැවසීමකට සමාන බවට මතයක් පවතින අතර, රුවන්ගේ බලය හේතුවෙන් බොහෝ දෙනෙක් ඔහුගේ වචනයට කීකරු වන බව සඳහන් වේ. බන්ධනාගාරයේ සිටින මිදිගම රුවන් විසින් දුරකථන ඇමතුම් හරහා මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ඩුබායි ලොක්කාට බාර දී, තමන්ගේ නම ඊට ගෑවීම වළක්වා ගනිමින්, සියලු මෙහෙයුම් කටයුතු ඩුබායි ලොක්කා ලවා සිදු කර ඇති බවට පොලිසිය ප්‍රධාන වශයෙන් සැක කරයි.
මෙම ඝාතනයට තුඩු දීමට හේතු කිහිපයක් බලපා ඇති බවට විමර්ශනවලදී අවධානය යොමු වී තිබේ. මිදිගම රුවන් අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී, ඔහු සතුව තිබූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50 කින්, කිලෝග්‍රෑම් 25 ක් අතුරුදන්වී ඇත. මෙම මත්ද්‍රව්‍ය සොරකමට ඝාතනයට ලක් වූ මිදිගම ලසා සම්බන්ධ බවට හෝ ඒ පිළිබඳව දැනුවත්ව සිටි බවට රුවන් පාර්ශ්වය චෝදනා කර තිබේ.
ඊට අමතරව, පසුගිය සැප්තැම්බර් මස ඉබ්බාගමුව ප්‍රදේශයේදී මිදිගම රුවන්ගේ ඥාති දියණියකගේ නිවසේ තිබී ටී-56 ගිනි අවි හතරක් පොලිසිය විසින් සොයාගෙන තිබේ. එම වැටලීමට අදාළ ඔත්තුව ලබා දී ඇත්තේ මිදිගම ලසා විසින් බවටද රුවන් පාර්ශ්වය දැඩි ලෙස සැක කර ඇත. මෙම ගැටුම් හේතුවෙන් මිදිගම රුවන්ගෙන් තමන්ට දිගින් දිගටම ජීවිත තර්ජන එල්ල වන බවට, ඝාතනයට ලක්වීමට පෙර සැප්තැම්බර් 06 වන දින ලසන්ත වික්‍රමසේකර මහතා විසින් පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබී ඇත.
