Thursday, March 5, 2026
Homeදේශීයසුනාමියට වසර 21ක්

සුනාමියට වසර 21ක්

2004 වසරේ දෙසැම්බර් 26 වනදා සිදුවූ සුනාමි ව්‍යසනයට අදට වසර 21ක් සපිරේ. එදින ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා දූපත් ආශ්‍රිතව ඇති වූ ප්‍රබල භූකම්පනයත් සමඟ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට දරුණු සුනාමි තත්ත්වයක් උද්ගත විය.

මෙම ව්‍යසනය හේතුවෙන් මෙරට පුද්ගලයින් 35,000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් ආසන්න වශයෙන් 5,000ක් අතුරුදන් විය. ඒ සමඟ විශාල දේපොළ හා යටිතල පහසුකම් විනාශයට පත් විය.

සුනාමි ව්‍යසනයෙන් මියගිය පිරිස් සිහිපත් කිරීම සඳහා 2005 වසරේ සිට සෑම වසරකම දෙසැම්බර් 26 වනදා “ජාතික සුරක්ෂිත දිනය” ලෙස නම් කර ඇත. ඒ අනුව, මෙවරද ජාතික සුරක්ෂිත දින සැමරුම් උත්සවය අද (26) පෙරවරු 8.30 සිට පෙරවරු 11.00 දක්වා ගාල්ල පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

එමෙන්ම දිස්ත්‍රික් මට්ටමින් සර්ව ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

මෙම ව්‍යසනයෙන් මියගිය පිරිස් සිහිපත් කරමින් අද පෙරවරු 9.25 සිට 9.27 දක්වා මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වා සියලු ජනතාව එක්වෙන ලෙසද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටී.

මේ අතර පැරෑලිය ප්‍රදේශයේදී සුනාමි ජල කඳට හසුව විනාශයට පත්වූ දුම්රිය අනතුර සිහිපත් කිරීම සඳහා, මරදාන දුම්රිය ස්ථානයෙන් අද පෙරවරු 6.30ට මාතර බලා විශේෂ දුම්රියක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments