Tuesday, December 23, 2025
Homeසියලුම පුවත්හම්බන්තොට පිරිපහදුව සංවර්ධනයට සයිනොපෙක් සමාගමෙන් නව පොරොන්දුවක්

හම්බන්තොට පිරිපහදුව සංවර්ධනයට සයිනොපෙක් සමාගමෙන් නව පොරොන්දුවක්

චීන සයිනොපෙක් සමාගමේ උප සභාපති ලියැන්ගොං මහතාගේ ප්‍රධානත්වයෙන් සාමාජිකයින් දහදෙනෙකුගෙන් යුතු නියෝජිත කණ්ඩායමක් අද (15) දිනයේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමුවී ඇත.

ඒ, ඇමරිකානු ඩොලර් බිලියන 3.7ක ආයෝජනයකින් හම්බන්තොට ප්‍රදේශයේ ආරම්භ කිරීමට නියමිත නව තෙල් පිරිපහදු ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ ඉතිරි නොවිසඳුනු ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමක් සඳහාය.මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේදී පවතින ගැටලු විශාල පරාසයක් විසඳීමට අමාත්‍ය විජිත හේරත් මහතා ලබා දුන් සහයෝගය සඳහා සයිනොපෙක් සමාගමේ උප සභාපතිවරයා කෘතඥතාව පල කර තිබේ.ඒ අනුව, දිනකට බැරල් ලක්ෂ 2ක තෙල් නිෂ්පාදනය කිරීමට නියමිත මෙම ව්‍යාපෘතියේ ගිවිසුම අත්සන් කිරීම ඉකුත් ජනවාරි මාසයේදී සිදුකළ බවද සයිනොපෙක් නියෝජිතයෝ පැවසීය.අමතරව, ව්‍යාපෘතිය ඇරඹීමේදී පවතින තවත් ගැටලු කිහිපයක් පිළිබඳව ලියැන්ගොං මහතා විදේශ අමාත්‍යතුමා වෙත ඉදිරිපත් කරමින්, එම ගැටලු ඉක්මනින් විසඳා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මැදිහත් වන ලෙස ඉල්ලීමක් ද කර තිබේ.ඒ පිළිබඳව ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය විජිත හේරත් මහතා, ශ්‍රී ලංකාවට විදේශ ආයෝජන මඟින් ලැබෙන ධනාත්මක ආර්ථික බලපෑම සලකා බලමින්, පවතින ගැටලු ඉක්මනින් විසඳා ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශ මට්ටමින් තීරණාත්මක පියවර ගනු ඇති බව සඳහන් කළේය.ඒ අනුව, ප්‍රමාදයකින් තොරව ව්‍යාපෘතිය ආරම්භ කිරීමට දෙපාර්ශවය එකඟතාවයකට පැමිණි බවද වාර්තා වෙයි.මෙම හමුව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වුණා.

RELATED ARTICLES

Most Popular

Recent Comments