අයහපත් කාලගුණ තත්ත්වය හා ගංවතුර හේතුවෙන් දිවයිනෙ පුරා වගා බිම්වලට සිදුවූ හානි සම්බන්ධයෙන් වන්දි ලබා දීමේ ක්‍රියාවලිය කඩිනමින් සක්‍රීය කිරීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පියවර ගෙන තිබේ.
මණ්ඩලය සඳහන් කළේ, අනිවාර්ය රක්ෂණයට ඇතුළත් වී, බඩඉරිඟු, ලොකුලූණු, අර්තාපල්, මිරිස් සහ සෝයා බෝංචි වැනි වගාවන්ට සිදුවූ හානි තක්සේරු කර වන්දි මුදල් ඉක්මනින් ලබා දීමට නියමිත බවයි.
දැනට පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් වගා හානි සම්පූර්ණයෙන් තක්සේරු කිරීමට අපහසු බැවින්, ගංවතුර බැස ගිය වහාම අදාළ ගොවිජන සේවා මධ්‍යස්ථානවල පවත්නා හානි දැනුම්දීමේ පොත්වල හානි සටහන් කිරීමටද, නැතහොත් කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ට දැනුම් දීමටද ගොවීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
එසේම, අනෙකුත් වගාවන්ට සිදුවූ හානි පිළිබඳවද වගාව පිහිටි කලාපයට අදාළ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ හානි වාර්තා පොතේ සටහන් කළ යුතු බව නිවේදනයේ තවදුරටත් සඳහන් වේ.
හානි දැනුම්දීම සම්බන්ධ උපදෙස් සහ ගැටලු සඳහා කෘෂි රක්ෂණ මණ්ඩලයේ හදිසි ඇමතුම් අංකය වන 1928 මගින්ද ගොවීන්ට සේවාව ලබා ගත හැකි බවද එය පවසයි.

