අකුරේගොඩදී පසුගියදා වෙඩි ප්‍රහාරයකින් නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳ ඝාතනය වූ ප්‍රදේශය අධි ආරක්ෂක කලාපයක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේය.
මෙය හුදකලා සිදුවීමක් බවත්, එමඟින් ජාතික ආරක්ෂාවට කිසිදු බලපෑමක් නොමැති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. එමෙන්ම ඝාතනයට ලක් වූ නීතිඥවරයාගේ සහ ඔහුගේ බිරිඳගේ පවුලේ ඥාතීන් වෙත ශෝකය පළ කරන බවද සඳහන් කළේය.
අද (17) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, මෙම සිද්ධිය ජාතික ආරක්ෂාවට බලපෑමක් ලෙස පෙන්වීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ දරන බවයි.
මෙම ඝාතනය නීතියේ ආධිපත්‍යයට එල්ල වූ තර්ජනයක් ලෙස සැලකිය නොහැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
“මේ රටේ කිසිවෙකුගේ ජීවිත අපි අවතක්සේරු කරන්නේ නැහැ. කිසිවෙකු කිසිවෙකු අතින් මියයෑම අපි අනුමත කරන්නේ නැහැ. සියලුදෙනාගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා රජයක් ලෙස අපි කැපවෙනවා. සමාජයේ සැරිසරන විශාල අවි ආයුධ ප්‍රමාණයක් පවතින අතර, පසුගිය කාලයේ දේශපාලනඥයින්ට ලබාදුන් ඇතැම් අවි ආයුධ තවමත් භාරදී නොමැති බවද සඳහන් වේ. සමහර ආයුධ හමුදා කඳවුරුවලින් පාතාලයට ලබාදී ඇති බවට විමර්ශන සිදු කෙරෙන පරිසරයක් තුළ මෙවැනි සිදුවීම් වාර්තා වන බවත්, ඝාතන සංස්කෘතිය අපි හෙළා දකින අතර නැවත නැවතත් කනගාටුව පළ කරනවා” යනුවෙන් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

