රජය ඒකාධිපතිත්වය කරා ගමන් කරමින් මෙරට ප්රජාතන්ත්රවාදයේ අවසානය කරා රට ගෙන යමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර නව නගරයේ පැවති වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.
එහිදී ඔහු චෝදනා කළේ මේ වන විට රට පාලනය කරන්නේ විකෘති ආණ්ඩුවක් බවත්, එම ආණ්ඩුව පුරවැසි සහභාගීත්වය අඩු කිරීමේ ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කරමින් ප්රජාතන්ත්රවාදයට ඇති ඉඩකඩ අහුරමින් සිටින බවත්ය.
මෙහි ආරම්භය යෞවන සමාජ නිලවරණවලින් සිදුවූ බවත්, අනතුරුව සිවිල් ආරක්ෂක කමිටු දක්වා එය ව්‍යාප්ත වූ බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ප්රජාතන්ත්රවාදය සහ ප්රජාතන්ත්රවාදී සම්ප්‍රදායන් විනාශ කරමින් තනි මතයට කටයුතු කිරීමට රජය පියවර ගෙන ඇති බවටද ඔහු චෝදනා කළේය.
ආණ්ඩුව තනි මතයට කටයුතු කිරීම හේතුවෙන් රට කඩා වැටී ඇති බව පවසන විපක්ෂ නායකවරයා, ජනාධිපතිවරයාගේ අරමුණ සදාකාලිකව එක් පක්ෂයක් යටතේ රට පාලනය කිරීම බවද සඳහන් කළේය.
සමස්ත ආණ්ඩුව සහ රාජ්‍ය යාන්ත්‍රණය එක් පක්ෂයක නියෝග මත ක්‍රියාත්මක කරවීම සඳහා රජය කටයුතු කරන බවත්, ඒ හේතුවෙන් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට පියවර ගෙන ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

