ත්‍රස්ත ක්‍රියාකාරකම් හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත් වූ ත්‍රිවිධ හමුදා සහ පොලිස් සාමාජිකයින්ට සහන සැලසීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.
පසුගිය 09 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති මෙම සාකච්ඡාවේදී, යුද සමයේ ආබාධිත තත්ත්වයට පත් වූ ත්‍රිවිධ හමුදා හා පොලිස් සාමාජිකයින් නිවැරදිව හඳුනාගෙන ඔවුන්ගේ නොවිසඳුණු ගැටලු සඳහා සහන ලබාදීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම පිළිබඳ අවධානය යොමු කර ඇත.
එමෙන්ම, ත්‍රස්ත ක්‍රියා හා ඒ ආශ්රිත සිදුවීම් හේතුවෙන් මියගිය, ආබාධිත වූ හෝ සේවයෙන් ඉවත් කළ පුද්ගලයින් සම්බන්ධයෙන් වෛද්‍ය ඇගයීම් සිදු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ නියෝජිතයන් ඇතුළත් වෛද්‍ය මණ්ඩල පත් කිරීම පිළිබඳව ද සාකච්ඡා වී තිබේ.
දිවයින පුරා වෙසෙන ආබාධිත රණවිරුවන්ට පහසු අයුරින් සහන ලබාදීම සඳහා ත්‍රිවිධ හමුදා සතු වෛද්‍ය පහසුකම් උපරිම ලෙස භාවිත කරමින් ප්‍රාදේශීය මට්ටමින් වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර ඇත.
සුදුසුකම් ලබන සියලු දෙනා වෙත ප්‍රමාදයකින් තොරව ප්රතිලාභ ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ පාර්ශ්වයන්ට උපදෙස් ලබාදී ඇති බවද වාර්තා වෙයි.
ආබාධිත රණවිරුවන්ට සහන සැලසීමේ වැඩපිළිවෙළ වේගවත් කිරීමට සාකච්ඡාවක්

