ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන ක්ෂේත්රයක් වන රෙදිපිළි හා ඇඟලුම් කර්මාන්තයේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හතර තුළ සියයට 7.3කින් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක සඳහන් වේ.
ඒ අනුව, 2026 ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,624.7ක් ලෙස වාර්තා වී ඇති අතර, 2025 වසරේ එම කාලසීමාවේදී එය ඩොලර් මිලියන 1,751.8ක් ලෙස සටහන් වී තිබුණි.
මේ අතර, සමස්ත අපනයන ආදායම ඩොලර් මිලියන 4,315.6 සිට ඩොලර් මිලියන 4,534.9 දක්වා ඉහළ ගොස් ඇති නමුත්, ආනයන වියදම ඩොලර් මිලියන 6,572.9 සිට ඩොලර් මිලියන 8,227.9 දක්වා සියයට 25.2කින් ඉහළ ගොස් තිබේ.
පාරිභෝගික භාණ්ඩ, අතරමැදි භාණ්ඩ සහ ආයෝජන භාණ්ඩ ආනයන වියදම්ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තාව පෙන්වා දෙයි.
ඒ අනුව, අපනයන වර්ධනයට වඩා ආනයන වියදම වේගයෙන් ඉහළ යාම හේතුවෙන් 2026 ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ වෙළෙඳ හිඟය අමෙරිකානු ඩොලර් මිලියන 3,693 දක්වා පුළුල් වී ඇති බව සඳහන් වේ.
ඇඟලුම් අපනයන ආදායම පහළට – ආනයන වියදම ඉහළට

