ඉන්දුනීසියාවේ ඇති වූ ප්‍රබල භූකම්පන මාලාවෙන් අනතුරුව අද (17) අලුයම යළිත් භූකම්පනයක් සිදුව තිබේ.
ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ ෆ්ලොරෙස් ප්‍රදේශය ආශ්‍රිතව රික්ටර් මාපකයේ 5.9ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් හටගෙන ඇති බවයි.
පසුගිය 15 වැනිදා ඉන්දුනීසියාවට රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබල භූකම්පනයක් බලපෑ අතර, ඉන් අනතුරුව පසුකම්පන කිහිපයක්ද වාර්තා වී තිබුණි.
එම භූකම්පනයෙන් පුද්ගලයින් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් විශාල පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර තිබුණි.
ආපදාවට ලක්වූ ජනතාව වෙනුවෙන් ස්ථාපිත කර ඇති ආරක්ෂිත මධ්‍යස්ථානවල පුද්ගලයින් 9,200කට අධික පිරිසක් රැඳී සිටින බවද වාර්තා වේ.
භූකම්පනයෙන් අනතුරුව සංචාරක ප්‍රදේශ කිහිපයකට සීමා පැනවීමට බලධාරීන් කටයුතු කර ඇති අතර, ඉන්දුනීසියානු වරාය අධිකාරිය විසින් සමුද්‍ර ප්‍රවාහන සේවාද තාවකාලිකව අත්හිටුවා තිබේ.
මේ අතර භූකම්පනයේ බලපෑමෙන් ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුමද බිඳවැටී තිබූ අතර, එය යථා තත්ත්වයට පත් කිරීමට මේ වනවිට පියවර ගෙන ඇත.

