පෞද්ගලික ඉන්ධන සමාගම් අඛණ්ඩව ඉන්ධන සැපයුම සීමා කරමින් පාරිභෝගිකයන් අපහසුතාවට පත් කරන්නේ නම්, ඒ සම්බන්ධයෙන් නීත්‍යානුකූලව ගත හැකි සියලු පියවර ගැනීමට කටයුතු කරන බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.
ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ ගොස් ඇති නමුත් එම වැඩිවීමට සමානුපාතිකව මෙරට ඉන්ධන මිල ඉහළ නංවා නොමැති බවයි.
ඉන්ධන මිල ඉහළ යාමේ බලපෑමෙන් විශාල කොටසක් රජය සහනාධාර ලෙස දරාගෙන ඇති බවත්, මීට පෙර රුපියල් බිලියන 57ක් ඒ සඳහා වෙන් කළ අතර ඉදිරි මාස තුන වෙනුවෙන් තවත් රුපියල් බිලියන 41ක් වෙන් කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉන්ධන මිල ඉහළ යාමේ පිරිවැයෙන් කොටසක් පෞද්ගලික සමාගම් විසින් ද දරාගත යුතු බවට දැනුම් දී ඇති බව ඔහු සඳහන් කළේය. එහෙත් ඇතැම් පෞද්ගලික ඉන්ධනහල් ඉන්ධන සැපයුම සීමා කරමින් පාරිභෝගිකයන් අපහසුතාවට පත් කිරීමට උත්සාහ කරන බවට ද අමාත්‍යවරයා චෝදනා කළේය.
අදාළ ගිවිසුම් අනුව පෞද්ගලික සමාගම්වලට තම මිල සූත්‍රය සහ පිරිවැය පදනම් කරගනිමින් මිල තීරණය කිරීමට අවස්ථාව පවතින බව ද ඔහු පැවසීය. කෙසේ වෙතත්, මිල ඉහළ නැංවීම සඳහා බලපෑම් කිරීමේ අරමුණින් ඉන්ධන සැපයුම සීමා කර පාරිභෝගිකයන් පීඩාවට පත් කිරීමට ඉඩ නොදෙන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
පෞද්ගලික ඉන්ධන සමාගම් සැපයුම් සීමා කිරීම දිගටම සිදු කළහොත්, අදාළ ගිවිසුම් සහ නීතිමය බලතල යටතේ ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කර ඇති බවද අමාත්‍ය අනුර කරුණාතිලක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

