රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (18) උදෑසන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබීය.ශ්‍රීලංකන් ගුවන් සේවයට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩු කටයුත්ත අවසන් කිරීමට මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද නියෝග කළේය.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ මේ වන විට අධිචෝදනා ගොනුකර ඇති බැවින්, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුත්ත අවසන් කරන ලෙසයි.එමෙන්ම, සිද්ධියට අදාළ මුල් වාර්තාව සහ නඩු භාණ්ඩ දැනටමත් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය වෙත යොමුකර ඇති බවද මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.මෙම සිද්ධියේ පළමු සැකකරු වන කපිල චන්ද්‍රසේන මහතා මියගොස් ඇති අතර, ඔහුගේ මරණ පරීක්ෂණ වාර්තාව මෙතෙක් ලැබී නොමැති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දී තිබේ.තවද, ප්‍රියංකා නියෝමාලි සහ ශමින්ද්‍ර රාජපක්ෂ යන සැකකරුවන් දෙදෙනාට විවෘත වරෙන්තු නිකුත් කර ඇති බවද අධිකරණයට දන්වා ඇත.මෙම සිද්ධියේ සිව්වැනි සැකකරු වන නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සිදුකරන විමර්ශනයට අදාළව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ අධිචෝදනා ගොනුකර ඇති බවත්, ඔහු නොවැම්බර් 19 වැනිදා දක්වා බන්ධනාගාර භාරයේ තබා ගැනීමට නියෝග කර ඇති බවත් විමර්ශන නිලධාරීන් පැවසීය.ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුත්ත අවසන් කිරීමට නියෝග කළේය.අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදාහැර තිබේ.

