Homeසියලුම පුවත්එල්නිනෝ තත්ත්වයට සියලුදෙනා එක්ව මුහුණදිය යුතුයි - සජිත්

එල්නිනෝ තත්ත්වයට සියලුදෙනා එක්ව මුහුණදිය යුතුයි – සජිත්

එල්නිනෝ තත්ත්වයේ බලපෑමට ඇති සම්භාවිතාව මේ වන විට සියයට 100ක් දක්වා පැමිණ ඇති බැවින්, ආණ්ඩුව, විපක්ෂය සහ සමස්ත ජනතාව එක්ව ඊට සාර්ථකව මුහුණදිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය අමතමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ මෙම අවදානම් තත්ත්වයෙන් මිදීම සඳහා පක්ෂ පාට භේදයකින් තොරව විනිවිදභාවයෙන් යුත් ජාතික කථිකාවතක් ආරම්භ කළ යුතු බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහ මහාචාර්ය එල්. එම්. අබේවික්‍රම මහතාගේ සම සභාපතීත්වයෙන් යුත් දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය හරහා ඒ සඳහා අවශ්‍ය වැඩසටහන් ආරම්භ කරන බවද ඔහු පැවසීය.

මිනිස් සම්පත මෙන්ම ඡන්ද බලයක් නොමැති සතා සිවුපාවා, වන සම්පත, පරිසරය සහ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම ජාතික ආරක්ෂාවේ ප්‍රමුඛතාවක් ලෙස සැලකිය යුතු බවද විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

එය වර්තමාන පරපුරේ මෙන්ම අනාගත පරපුරේ පැවැත්ම සඳහාද අතිශය වැදගත් බව ඔහු සඳහන් කළේය.

මෙරට ආපදා කළමනාකරණ යාන්ත්‍රණය මගින් සිදුකරන සේවය අගය කළ විපක්ෂ නායකවරයා, ආපදාවක් සිදුවීමෙන් පසු ප්‍රතිචාර දැක්වීමට වඩා පූර්ව ආපදා ප්‍රතිචාර ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවද අවධාරණය කළේය.

ගෝලීය අවදානම් පිළිබඳ දැනුම්දීමක් ලැබුණු වහාම ක්‍රියාත්මක කළ හැකි ක්ෂණික ඉවත්කිරීම් සහ පූර්ව සූදානම්වීමේ වැඩපිළිවෙළක් රට තුළ සකස් කළ යුතු බවද ඔහු කියා සිටියේය.

එල්නිනෝ සහ ලානීනා තත්ත්වයන් හේතුවෙන් පානීය ජලය, වාරි ජලය, ආහාර හා බලශක්ති ආරක්ෂාව මෙන්ම පරිසරයට ඇතිවිය හැකි බලපෑම් සම්බන්ධයෙන්ද නිසි පූර්ව සූදානමක් පැවතිය යුතු බව සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

එමෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය මසකට දෙවරක් රැස්වෙමින් පරිසරය කේන්ද්‍ර කරගත් කරුණු සඳහා ජාතික න්‍යාය පත්‍රය තුළ ප්‍රමුඛතාව ලබාදීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments