Homeසියලුම පුවත්එල් නිනෝ තත්ත්වයට මුහුණදීමට රජය සූදානම් බව පරිසර ඇමති කියයි

එල් නිනෝ තත්ත්වයට මුහුණදීමට රජය සූදානම් බව පරිසර ඇමති කියයි

එල් නිනෝ තත්ත්වයෙන් ඇතිවිය හැකි බලපෑම්වලට මුහුණදීම සඳහා රජය අවශ්‍ය පූර්ව සූදානම් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (20) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මේ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම සඳහා පත් කළ කමිටුව පසුගියදා රැස්වී සාකච්ඡා කළ බවය.

එමෙන්ම පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ මේ දක්වා වාරි හා පානීය ජල ගැටලු විශාල ලෙස මතුව නොමැති බව ද හෙතෙම කියාසිටියේය.

කෙසේවෙතත් වියළි කාලගුණ තත්ත්වයෙන් පානීය ජල ගැටලු ග්‍රාමසේවා වසම් කිහිපයක මතුව ඇති බවත්, එම ප්‍රදේශ සඳහා ජලය බෙදාහැරීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත් අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව මඩකලපුව, මොනරාගල, අම්පාර, මාතලේ සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල ජනතාවට අවශ්‍ය පානීය ජලය බෙදාහැරීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.

එම වැඩපිළිවෙළ දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර තිබේ.

මේ අතර එල්නිනෝ තත්ත්වය හමුවේ ඉදිරියේදී නියඟයක් ඇති වුවහොත් ජල සම්පාදනය වෙනුවෙන් නව චක්‍රලේඛයක් ඉදිරිපත් කර ඇති බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පවසයි.

මෙම චක්‍රලේඛය අගෝස්තු 6 වැනි දින ආරක්ෂක අමාත්‍යාංශය මඟින් ඉදිරිපත් කර ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.

එලෙසම මෙම චක්‍රලේඛය තුළ නියඟයෙන් බලපෑමට ලක්වන ප්‍රදේශවලට ජල පහසුකම් සැපයීම සඳහා වඩාත් පහසු හා ඉක්මන් මැදිහත්වීමක් සිදුකිරීමට හැකි ආකාරයෙන් අවශ්‍ය නීති රෙගුලාසි වෙනස් කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments