Homeසියලුම පුවත්‘කංජිපානි ඉම්රාන්’ගේ බාප්පා ඝාතනයට 5ක් අත්අඩංගුවට

‘කංජිපානි ඉම්රාන්’ගේ බාප්පා ඝාතනයට 5ක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘කංජිපානි ඉම්රාන්’ගේ සමීප ඥාතියෙකු වන 54 හැවිරිදි මොහොමඩ් අස්මින් මොහිදීන් මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු පොලීසිය විසින් ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය අගෝස්තු 10 වනදා කොටහේන පොලිස් වසමේ මාළිගාවත්ත ශ්‍රී සංඝරාජ මාවතේදී මෙම වෙඩිතැබීම සිදුව ඇති අතර, දැනට ප්‍රංශයේ රැඳී සිටින ‘කුඩු අංජු’ නමැත්තා විසින් එය මෙහෙයවා ඇති බවට පොලීසිය සැක පළ කරයි.

කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සිදුකළ විමර්ශනවලදී ලද තොරතුරු මත අපරාධයට ආධාර අනුබල දුන් බවට සැකපිට මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සහ සැකකාරියක සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25යි මිලිග්‍රෑම් 840ක් සොයාගෙන තිබේ. ඔවුන් 21 සහ 23 යන වයස්වල පසුවන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරයි.

අනෙක් සැකකරුවන් තිදෙනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 380ක් සහ අපරාධය සඳහා භාවිත කළ බවට සැකකරන යතුරුපැදියක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් අවුරුදු 19, 25 සහ 28 යන වයස්වල පසුවන මට්ටක්කුලිය, දොම්පේ සහ මුල්ලේරියාව ප්‍රදේශවල පදිංචිකරුවන් බවද අනාවරණය වී ඇත.

ශ්‍රී සංඝරාජ මාවතේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක හිමිකරුවෙකු ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා පලාගොස් තිබුණි.

වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ මොහොමඩ් අස්මින් මොහිදීන් මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

‘කුඩු අංජු’ නමැත්තාගේ සමීපතමයෙකු රත්මලාන ප්‍රදේශයේදී ඝාතනය කිරීමේ සිද්ධියකට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments