කැනඩාව සහ පිලිපීනය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් දෙදෙනා පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවී තිබේ.කැනඩාව සඳහා නම් කළ මහ කොමසාරිස් රෝහණ අඹගොල්ල මහතා සහ පිලිපීනය සඳහා නම් කළ තානාපති අන්සුල් බානු ජාන් මහත්මිය මෙලෙස අග්‍රාමාත්‍යවරිය හමුවී ඇති අතර, ඔවුන්ගේ ඉදිරි රාජකාරි කටයුතු වෙනුවෙන් අග්‍රාමාත්‍යවරිය සුබපැතුම් එක්කර තිබේ.මෙහිදී ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර උසස් අධ්‍යාපන සහයෝගීතාව පුළුල් කිරීම සහ දෙරටේ අධ්‍යාපන ආයතන අතර නව හවුල්කාරිත්වයන් ඇති කිරීම පිළිබඳව සාකච්ඡා කර ඇත.එසේම, කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ සමීප සබඳතා පවත්වාගෙන යමින් දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත්කම ද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කර තිබේ.පිලිපීනය සමඟ වෘත්තීය හා තාක්ෂණික අධ්‍යාපන ක්ෂේත්රයේ සහයෝගීතාව, විශේෂඥ දැනුම හුවමාරු කරගැනීම සහ ආයතනික හවුල්කාරිත්වයන් ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වී ඇත.තවද, පර්යේෂණ, තාක්ෂණ හුවමාරුව සහ කෘෂිකාර්මික ක්ෂේත්රයේ දියුණුව වෙනුවෙන් ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය (IRRI) සමඟ ශ්‍රී ලංකාවේ සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම ද සාකච්ඡා කර තිබේ.පසුගිය නොවැම්බර් 17 වැනිදා පැවති මෙම හමුවට අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සගරිකා බෝගහවත්ත මහත්මිය ද සහභාගී වී ඇත.

