Friday, October 4, 2024
Homeදේශපාලනජූලි 9 ජනපති මැදුර අරගලකරුවන්ගේ ග්‍රහණයට ගැනීමෙන් පසු?

ජූලි 9 ජනපති මැදුර අරගලකරුවන්ගේ ග්‍රහණයට ගැනීමෙන් පසු?

රටේ පවතී දේශපාලන, ආර්ථික ගැටළු උග්‍ර වීමත් සමග රටපුරා විරෝධතා ආරම්භ වූ අතර පසුගිය ජුලි 9 වනදා ලොව පුරා කාගේත් අවදානය ශ්‍රී ලංකාව දෙසට යොමුව තිබෙන දිනයකි. එහිදී එදින ජනාධිපතිවරයා  සිටියේ කොහේද යන්න සියල්ලන්ටම ගැටලුවක් පැවතුනා.

ඒ අනුව ජූලි 9 පැවතී අරගලයෙන් පසුව රටේ අභ්‍යන්තරිකව සිදුවූයේ කුමක්දැයි සහ ජනාධිපති ආරක්ෂිතව මුදාගත් මෙහෙයුම සහ සිදුවූ රහස් රැසක් මෙහෙයුම් සම්බන්ධයෙන් “මව්රට” පුවත් පතේ පළවූ කපිල පුංචිමාන්නගේ ලියන ලද වාර්තාවක් පහතින්,

69 ලක්ෂයක් ඡන්ද ගෙන බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා දින 969ක් පමණක් ජනාධිපති ධුරය හොබවමින් සිට දැවැන්ත ජනතා විරෝධතාවන් මධ්‍යයේ රටින් පිටව ගියේ පසුගිය සඳුදා පෙරවරුවේය. සඳුදා දින ජනාධිපතිවරයා ලංකාවෙන් පිටව යන තෙක්ම කිසිවකුත් එවැන්නක් සිදු වන බවත් හෝ දැන සිටියේ නැත. අඩුම වශයෙන් ජනාධිපතිවරයා සිටින තැනක් හෝ කවුරුත් දැන සිටියේ නැත. ජූලි 09 වැනිදා ඇතිවූ මහජන අරගලයත් සමග සවස් වරුව වන විට පිටකොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය අත්පත් කරගැනීමට අරගලකරුවන් සමත් වූ අතර, ඒ මොහොත වන විට ජනාධිපතිවරයා ජනපති මන්දිරයේ සිටි ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත.

ඇත්තම කියනවා නම් ජූලි 09 වැනි දින ඒ ආකාරයේ ලක්ෂ සංඛ්‍යාත ජනකායක් කොළඹට පැමිණෙනු ඇතැයි ජනාධිපතිවරයා තබා ආරක්ෂක අංශවත් සිතා සිටියේ නැත. මන්ද යත් සිකුරාදා දිනය වන විට ජනාධිපතිවරයා ජූලි 09 අරගලය සම්බන්ධයෙන් වාර්තා කිහිපයක්ම කැඳවා තිබූ අතර, ඉන් පළමු වාර්තාවේ දැක්වුණේ 7000ත්, 10000ත් අතර පිරිසක් අරගලයට සහභාගි වීමට කොළඹට පැමිණෙනු ඇති බවත්, ඔවුන් කොළඹ ආ පසු සිදුකරනු ඇති බවට සැලකුණු උපකල්පනයන් කිහිපයකුත්ය. නමුත් හිතට හරි මදි නිසාදෝ ජනාධිපතිවරයා සෙනසුරාදා විරෝධය පිළිබඳ තවත් වාර්තාවක් කැඳවා එහි ප්‍රතිඵලද සොයා බැලීමට පියවර ගත්තේය. අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ එම වාර්තාවේද 7000ත්, 10000ත් අතර සෙනග ප්‍රමාණයක් කොළඹට පැමිණෙනු ඇති බවට වාර්තා කොට තිබූ බවකි. ඒ අනුව සෙනසුරාදා දිනයේ ආරක්ෂක සැලැස්ම සකස් වූයේ එම විරෝධතාකරුවන්ට සරිලන ලෙස වූ අතර ඊට අනුපාතිකව හමුදා සහ පොලිස් නිලධාරීන් කැඳවීම, නගරයේ ආරක්ෂාව තරකිරීම, ජනපති මැදුරේ ආරක්ෂාව තර කිරීම සහ මාර්ග බාධක ආදිය යෙදීම සිදුකෙරිණි. ඒ අනුව සිකුරාදා (08) රාත්‍රිය වන විට ඒ සියලු රාජකාරි කටයුතු අවසන් කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබිණි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා ජනාධිපති මන්දිරයෙන් ඉවත් කිරීමට තරම් අවදානමක් මෙම වාර්තාවලින් පෙන්වා නොතිබුණු නිසා ජනාධිපතිවරයා ජනාධිපති මන්දිරයේම තැබීමට ආරක්ෂක අංශ බලධාරීහු පියවර ගත්හ. ජනාධිපතිවරයා ජනපති මැදුරෙන් ඉවත් කිරීමට තරම් අවදානමක් මතු නොවනු ඇති බව ඔවුන්ගේ තක්සේරුව වී තිබිණි. එහෙත් යම් හෙයකින් ජනාධිපතිවරයාට ආරක්ෂක අවදානමක් මතුවුවහොත් හෙතෙම ජනාධිපති මන්දිරයෙන් හොර රහසේම ඉවත් කරගැනීමේ ආරක්ෂක සැලැස්මක්ද ආරක්ෂක අංශ විසින් සැලසුම් කර තිබූ ආකාරයක්ද මෙහිදී දැකගත හැකි විය.

ඒ අනුව සෙනසුරාදා පෙරවරුව වන විට ආරක්ෂක අංශ විසින් වහාම පවතින තත්ත්වය පිළිබඳ සමාලෝචනය කිරීමක් සිදුකිරීමට පියවර ගෙන තිබිණි. එහිදී ඔවුන්ට රටේ සතර දිග්භාගයෙන්ම ලැබුණු තොරතුරුවලින් කියැවුණේ පෙරවරු 8 – 8.45 වන විටත් ලක්ෂ සංඛ්‍යාත ජනකායක් කොළඹ බලා පිටත් වීමට ගමන් ආරම්භ කොට ඇති බවකි. සිකුරාදා වන විට කැඳවා තිබූ වාර්තාවලින් මෙම ප්‍රමාණය 7000ත් 10000ත් අතර සංඛ්‍යාවක් වනු ඇති බව උපකල්පනය කොට තිබුණත් සෙනසුරාදා පෙරවරු 9 වන විට එම සංඛ්‍යාව ලක්ෂ 10ද ඉක්මවනු ඇති බව ආරක්ෂක අංශ වෙත ලැබුණු තොරතුරුවලින් තහවුරු කොට තිබිණි. යම් හෙයකින් මෙසේ පැමිණෙන ජනතාව ජනාධිපති මන්දිරය දෙසට හැරුණහොත් කැඳවා ඇති ආරක්ෂක අංශ සාමාජිකයන් ප්‍රමාණය සහ යොදවා ඇති මාර්ග බාධක කෙසේවත් ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට නොගැළපෙන බව ඔවුන්ගේ මතය වී තිබිණි. ඒ අනුව සෙනසුරාදා පෙරවරු 9 වන විට ජනාධිපතිවරයාගේ ආරක්ෂාව තහවුරු කිරීමේ සැලැස්ම ක්‍රියාවට නැංවීමට ජනාධිපතිවරයාගේ ආරක්ෂක කණ්ඩායම පියවර ගත්හ.

ඒ අනුව ආරක්ෂක අංශ විසින් කලින් සැලසුම් කර තිබුණේ මෙවැනි තර්ජනයක් හදිසියේ හෝ මතුවුවහොත් ජනාධිපතිවරයා ජනපති මන්දිරයට දකුණු දෙසින් පිහිටා ඇති කොළඹ වරාය ඔස්සේ ඉතා රහසිගතව පිටමං කිරීමටය. ඒ අනුව ජනාධිපතිවරයා මුදාගැනීමේ ආරක්ෂක සැලැස්ම දියත් කළ ආරක්ෂක අංශ පළමුව සෙනසුරාදා පෙරවරු 9 වන විට වරායට පිවිසීමට ඇති ගේට්ටු 9ම සීල් කොට වසා දැමීමට පියවර ගත්හ. ඉන් අනතුරුව ඔවුන් ජනාධිපතිවරයාත්, ජනපති බිරිය වූ අයෝමා රාජපක්ෂ මහත්මියත් ජනපති මන්දිරයෙන් පිටට ගෙන වරාය දක්වා රැගෙන යෑමට සැලසුම් කර තිබුණේ පිටස්තර කිසිවකුත් නොදන්නා ආරක්ෂක අංශ පමණක් දැන සිටි උමං මාර්ගයකිනි. මෙම උමං මාර්ගය ජනපති මන්දිරයේ සිට පොළොව යටින් වරායේ පිහිටි පැරැණි ගොඩනැගිල්ල දක්වා දිවෙන මීටර් 75ත් 100ත් අතර දිග ඉතා පැරැණි එකකි.

ඒ අනුව පෙරවරු 9.30 පමණ වන විට තත්ත්වය ඉතා දරුණු අතට පෙරළෙනු ඇති බවට වූ ලකුණු පහළ කර තිබූ බැවින් ආරක්ෂක අංශ විසින් වහාම ජනාධිපතිවරයා මුදාගැනීමේ සැලසුමට අනුව ජනාධිපතිවරයාත්, බිරියත් මෙම උමං මාර්ගය ඔස්සේ රැගෙන විත් නාවික හමුදාවට අයත් කොළඹ වරායේ නවතා තිබූ ආරක්ෂිත නෞකාවක රඳවා තැබීමට පියවර ගත්හ. ආරක්ෂක අංශවල සැලසුම වී තිබුණේ කොළඹට එක්රැස් වන ජනතාව උද්ඝෝෂණ සිදුකොට විසිර යෑමෙන් පසු තත්ත්වය සාමකාමී වන නිසා එවිට ජනාධිපතිවරයාත්, බිරියත් උමං මාර්ගය ඔස්සේ නැවත ජනාධිපති මන්දිරයට ගෙන ඒමටය. ඒ හේතුවෙන් ජනාධිපතිවරයාට සහ බිරියට අවශ්‍ය අමතර ඇඳුම් පැලඳුම් කිසිවක් රැගෙන යෑමට ඔවුන් කටයුතු කර තිබුණේ නැත.

නමුත් පෙරවරු 10 පමණ වන විට කොළඹට පැමිණි විරෝධතාකරුවන් ජනපති මැදුර වැටලීමට කටයුතු කරන බව ඔවුන්ට තහවුරු විය. ඒ අනුව ජනපති මන්දිරයට පිවිසෙන චැතැම් වීදියත්, ලංකා බැංකු මාවතත් සම්පූර්ණයෙන්ම අවුරා සිටින විරෝධතාකරුවන් මාර්ග බාධක එකින් එක පෙරළා දමමින් ජනපති මන්දිරයට ඇතුළු වීමට සැලසුම් කර සිටින බව ආරක්ෂක අංශවලට වටහා ගැනීමට වැඩි වේලාවක් ගියේ නැත. ඒත් සමගම වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ ජනාධිපතිවරයාට සහ බිරියට අවශ්‍ය ඇඳුම් පැලඳුම් සියල්ලත්, අත්‍යාවශ්‍ය බඩු භාණ්ඩ සියල්ලත් විශාල ගමන් මලු කිහිපයක බහා වහාම උමං මාර්ගය ඔස්සේ වරායේ නවතා තිබූ නැවට රැගෙන යෑමට පියවර ගත්හ. ඉන් අනතුරුව නාවික හමුදාවට අයත් ඩෝරා නැව් දෙකක ආරක්ෂාව යටතේ ජනාධිපතිවරයාත්, බිරියත් රඳවා සිටි නැව මීගමු මුහුදු සීමාව දෙසට රැගෙන ගොස් ලංකාවට අයත් මුහුදු තීරයේ ආරක්ෂිත අයුරින් නැංගුරම් දැමීමට නාවික හමුදාව කටයුතු කළහ.

මේ අතරවාරයේ සෙනසුරාදා දහවල් වන විට ජනපති මන්දිරය අවට ප්‍රදේශය එකම හිස් ගොඩක් බවට පත්ව යුද පිටියක ලකුණු මතුකොට තිබිණි. එක් පසෙකින් පැමිණ සිටි ජනතාව ජනපති මන්දිරය අවට මාර්ග බාධක එකින් එක පෙරළා බලය අතට ගනිද්දී ආරක්ෂක අංශ ඔවුන්ට කඳුළු ගෑස් ප්‍රහාරයත්, අධි පීඩක ජල ප්‍රහාරත් එල්ල කරමින් සිටියහ. අවසානයේදී අරගලකරුවන් සියලු මාර්ග බාධක බිඳ ජනපති මන්දිරයට පිවිසෙන අවසාන ගේට්ටුව දක්වා පැමිණි පසු අරගලකරුවන් ඉලක්ක කොට ප්‍රබල ප්‍රහාරයක් දියත් කිරීමට ආරක්ෂක අශ පියවර ගත්හ. එහිදී අහසට වෙඩි තබා ජන අරගලය මර්දනය කිරීමට අවසන් උත්සාහය දැරුවද ඒ කිසිවකටත් බිය නොවුණු අරගලකරුවෝ සෙනසුරාදා දහවල් වන විට සියලු ආරක්ෂක මුර කපොලු බිඳ ඉතිහාසයේ පළමු වතාවට ඓතිහාසික ජනපති මන්දිරයේ බලය සියතට ගැනීමට සමත් වූහ. පසුව ජනපති මන්දිරයේ බලය අත්පත් කරගැනීමට පෙරාතුව ජනාධිපතිවරයා ඉන් පිටව ගොස් ඇති බව ඔවුන් තහවුරු කරගත්තද ජනාධිපතිවරයා සිටින ඉසව්ව සියලු දෙනාටම ප්‍රහේළිකාවක් බවට පත්වී තිබිණි.

කෙසේ වෙතත් සෙනසුරාදා සවස වන විට රටේ තත්ත්වය ඉතා නරක අතරට පෙරළෙන ලකුණු පහළ කරමින් අරගලකරුවෝ ජනාධිපති මන්දිරය පමණක් නොව දැනට මාස තුනකට ආසන්න කාලයක් රැඳී සිටි ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයද සම්පූර්ණයෙන් තමන් යටතට ගැනීමට පියවර ගත්හ. ඒ අනුව ඔවුන් අවධාරණය කොට කියා සිටියේ වහාම ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට පියවර ගත යුතු බවකි. එසේ නොවන තාක් තමන් ජනාධිපති ලේකම් කාර්යාලයත්, ජනාධිපති මන්දිරයත් අත් නොහරින බව ඔවුන්ගේ ස්ථාවරය වී තිබිණි.

ඒ අනුව සියල්ලන්ම බලා සිටියේ ජනාධිපතිවරයා මීට දක්වන ප්‍රතිචාරය දෙසය. නමුත් කිසිවකුටත් ජනාධිපතිවරයා සිටින්නේ කොතැනකද, ජනාධිපතිවරයා කුමක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවාද යන්න පවා වටහාගත නොහැකි තත්ත්වයක් ඒ වන විට මතුව තිබිණි. ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ට පවා ජනාධිපතිවරයා සම්බන්ධ කරගැනීමට නොහැකිව සිටි බැවින් ඇතැමුන් ඔවුන්ගෙන් ජනාධිපතිවරයා පිළිබඳ විමසද්දී ඔවුන්ද අසරණ බවට පත්වන ආකාරයක් දැකගත හැකිව තිබිණි. එමෙන්ම සෙනසුරාදා දහවල් වන විට සමාජ මාධ්‍ය ජාලවල ආරක්ෂක අංශ රථ පෙළක් සමග ඪඪෂඡ රථයක් කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණ ගුවන් තොටුපළ පරිශ්‍රයට ළඟාවන අයුරු ප්‍රචාරය වීම නිසා බොහෝ දෙනා සිතුවේ ජනාධිපතිවරයා නියත වශයෙන්ම ගුවන් මගින් ලංකාවෙන් පිටව යෑමට කටයුතු කර ඇති බවකි. මීට අමතරව ආරක්ෂක අංශ නිලධාරීන් ගමන් මලු රැසක් රැගෙන කොළඹ වරායේ නවතා තිබූ නැවකට ගොඩවන දර්ශන ඇතුළත් වීඩියෝවක්ද සමාජ මාධ්‍යවල ප්‍රචාරය වූ බැවින් ඇතැමුන් සිතා සිටියේ ජනාධිපතිවරයා මුහුදු මාර්ගයෙන් වෙනත් රටකට පළා යන්නට ඇතැයි කියාය. නමුත් මෙහිදී සිදුව තිබුණේ ඒ දෙකම නොව ඊට හාත්පසින්ම වෙනස් සිදුවීමකි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා මේ ආකාරයට සැඟව සිටියදී රටේ දේශපාලනයද ඉතා උණුසුම් මුහුණුවරක් ගෙන තිබිණි. ජනාධිපතිවරයාගේ අතුරුදන් වීම මත බන්දුල, ධම්මික, හරීන්, මනුෂ වැනි කැබිනට් ඇමැතිවරුන් එකින් එක පෝලිමේ ඉල්ලා අස්වෙද්දී ආණ්ඩුව සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් උද්ගත වන ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව මුලින්ම අගමැතිවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා වහාම පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට පියවර ගත්තේය. ආරක්ෂක හේතු මත එම පක්ෂ නායක රැස්වීම පවත්වන ස්ථානය පිළිබඳ කිසිදු දැනුම් දීමක් නොකිරීමට එහිදී රනිල් පියවර ගෙන තිබිණි. නමුත් රනිල් කැඳවූ පක්ෂ නායක රැස්වීම ලත් තැනම ලොප් වූයේ ඊට සහභාගි නොවීමට සමගි ජන බලවේගයත්, ජනතා විමුක්ති පෙරමුණත් තීරණය කිරීමත් සමගය. ඔවුන් කියා තිබුණේ අගමැතිවරයා ලෙස රනිල් පත්කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය පිළිගත නොහැකි බැවින් රනිල් කැඳවන කිසිදු රැස්වීමකට තමන් සහභාගි නොවන බවකි. නමුත් කතානායකවරයා පක්ෂ නායක රැස්වීමක් කැඳවන්නේ නම් තමන් ඊට සහභාගි වීමට සූදානම් බවද එහිදී ඔවුහු කියා සිටියහ. පසුව කතානායකවරයා සිය නිල නිවෙසෙහි හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවූයේ සජබෙත්, ජවිපෙත් කළ මෙම දැනුම්දීමට අනුවය.

කෙසේ වෙතත් මේ වන විට ජනාධිපතිවරයා සිටින ඉසව්ව පිළිබඳ පළමු ඉඟිය ජාත්‍යන්තර මධ්‍ය වාර්තා කිරීමට සමත්ව තිබිණි. එහිදී ඔවුන් පළමු වරට විශේෂ අනාවරණයක් සිදුකරමින් ජනාධිපතිවරයා විශේෂ නැවක ලංකාවට අයත් මුහුදු සීමාවේ ආරක්ෂිතව රැඳී සිටින බවත්, ආරක්ෂක හේතු මත එම ස්ථානය අනාවරණ කළ නොහැකි බවත්, නාවික හමුදාව එම පුවත තහවුරු කළ බවත් කියා සිටියේය. ඒ වන විට රටේ තත්ත්වය ඉතා දරුණු තැනකට ගමන් කරමින් තිබූ බැවින් ප්‍රශ්නය විසඳීමට නම් වහාම ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළ යුතු බව බොහෝ දෙනාගේ ස්ථාවරය වී තිබිණි.

විපක්ෂයේ සියලු පක්ෂ මේ බව එක හඬින් කියද්දී පොහොට්ටුව නියෝජනය කරන ඩලස් අලහප්පෙරුම ඇතුළු ස්වාධීන මන්ත්‍රීවරුන් 16 දෙනකු ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබුණේ වහාම තනතුරෙන් ඉල්ලා අස්වන ලෙසටය. ඒ අනුව සෙනසුරාදා සවස් වන විට නැවේ සිටම කතානායකවරයාට ඇමතුමක් දුන් ජනාධිපතිවරයා තමන් ආරක්ෂිතව සිටින බවත්, වහාම පක්ෂ නායක රැස්වීමක් කැඳවා එහි ගනු ලබන තීන්දුව තමන්ට දැනුම් දෙන ලෙසත්, ඊට අනුව ක්‍රියා කරන්නට තමන් සූදානම් බවත් දැනුම් දී සිටියේය. මෙය ඒ මොහොතේම මාධ්‍ය මගින් වාර්තා කිරීමත් සමග රටේම අවධානය යොමු වූයේ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් සෙනසුරාදා සවස ආරම්භ වූ පක්ෂ නායක රැස්වීම දෙසටය.

කතානායක නිල නිවෙසේ මෙම පක්ෂ නායක රැස්වීම පැවැති අතර ඊට පක්ෂ නායකයන් බොහෝ පිරිසක් සහභාගී වී සිටියත් ආරක්ෂක හේතු මත කිහිප දෙනකු සූම් තාක්ෂණය ඔස්සේ ඊට එක්ව සිටියහ. මෙහිදී සියලු පක්ෂ නායකයන් එක හඬින් කතානායකවරයාට දැනුම් දී සිටියේ වහාම ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත් වන ලෙස දැනුම් දෙන ලෙසය. ජනාධිපතිවරයා පමණක් නොව රටේම ජනතාව අගමැතිවරයාටද ධුරයෙන් ඉවත් වන ලෙස කියමින් අරගල කරන බැවින් අගමැතිවරයාද ධුරයෙන් ඉවත් විය යුතු බව පක්ෂ නායකයන්ගේ මතය වි තිබිණ. මුලින් ඊට කිහිප වතාවක්ම රනිල් විරෝධය පළ කළද අවසානයේ ඊට එකඟතාව පළ කරමින් රනිල්ද කියා සිටියේ එසේ නම් තමන්ද අගමැති ධුරයෙන් ඉවත් වීමට සූදානම් යැයි කියාය. ඒ අනුව පක්ෂ නායකයන්ගේ තීරණය වී තිබුණේ ජනාධිපතිවරයා ඉවත් වීමෙන් පසු කතානායකවරයා වැඩබලන ජනාධිපති ලෙස පත්විය යුතු බවත්, අගමැතිවරයා ඉවත් වීමෙන් පසු වහාම පාර්ලිමේන්තුව කැඳවා අගමැතිවරයකු තෝරාගෙන සර්ව පාක්ෂික රජයක් කෙටි කලකට බිහි කළ යුතු බවත්ය. මෙම අවසන් තීන්දුව ගැනීමෙන් පසු කතානායකවරයා ඒ බව වහාම ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දීමට පියවර ගත්තේය. එහි කතානායකවරයා සඳහන් කළ ප්‍රධාන තීන්දු කිහිපය මෙසේය.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හැකි ඉක්මනින් තම ධුරයන්ගෙන් ඉල්ලා අස්වීම.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන්ට අනුකූලව සහ ව්‍යවස්ථානුකූලව මීළඟ පියවර ලෙස වැඩබලන ජනාධිපතිවරයකු පත්කර ගැනීම සඳහා දින හතක් තුළ පාර්ලිමේන්තුව කැඳවා පොදු එකඟතාවකින් තීරණයක් ගැනීම.

එම ජනාධිපතිවරයා යටතේ වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන සර්වපාක්ෂික මහජන නියෝජිතයන්ගේ එකඟතාවකට අනුව නව අග්‍රාමාත්‍යවරයකු ප්‍රමුඛ අන්තර්වාර රජයක් පිහිටුවා ගැනීම.

ඉන් අනතුරුව නිශ්චිත කාලයක් තුළ මැතිවරණයක් කැඳවා ජනතාවට නව පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමට අවස්ථාව ලබාදීම.

මීට අමතරව අග්‍රාමාත්‍යවරයා විසින් විකල්ප යෝජනා තුනක් ඉදිරිපත් කරන ලදී.

ජනාධිපතිවරයා වහාම ඉල්ලා අස්වී අග්‍රාමාත්‍යවරයා වැඩබලන ජනාධිපති ලෙස පත්වීම.

එසේ පත්වී සියලු පක්ෂ ඒකරාශී කොට නව අග්‍රාමාත්‍යවරයකු ප්‍රමුඛ අන්තර්වාර රජයක් පිහිටුවීම.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා යන දෙදෙනාම ඉවත්වී පාර්ලිමේන්තුව තුළින් නියෝජිතයකු වැඩබලන ජනාධිපති ධුරයට පත්කොට, අනතුරුව සර්වපාක්ෂික එකඟතාවකින් නව අග්‍රාමාත්‍යවරයෙක් පත්කර ගැනීම, අන්තර්වාර රජයක් පිහිටුවා ගැනීම හා නිශ්චිත කාලයක් තුළ නව රජයක් පිහිටා ගැනීමට අවස්ථාව ලබාදීම.

කෙසේ වෙතත් තත්ත්වය තරමක් උණුසුම් වූයේ රනිල් පක්ෂ නායක රැස්වීමේදී අගමැති ධුරයෙන් ඉවත් වන බව ප්‍රකාශ කළද ඉන් අනතුරුව අගමැති මාධ්‍ය ඒකකය මගින් ඊට තරමක් වෙනස් මාධ්‍ය නිවේදනයක් පළ කිරීමත් සමගය. ඉන් කියැවුණේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා එහි අගමැතිවරයා නම්කිරීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් වීමට තීරණය කොට ඇති බවකි.

ඒ අනුව මෙම ලිපිය ජනාධිපතිවරයාට යොමුකොට මොහොතක් යෑමට මත්තෙන් රටම බලා සිටි ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය ලැබිණි. ඉන් කියැවුණේ පක්ෂ නායක තීන්දුවට අනුව ජූලි 13 වැනි දින තමන් ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට තීන්දු කර ඇති බවකි. ජනාධිපතිවරයාගේ මෙම තීරණයෙන් එක් වරම රටම තරමක් සන්සුන් වුවද ආරක්ෂක අංශවලට මතුවූ ඊළඟ ප්‍රබලම ගැටලුව වූයේ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව කෙසේ තහවුරු කරනවාද, ජනාධිපතිවරයා කුමන ස්ථානයක රඳවා තබාගන්නවාද, ජනාධිපතිවරයාගේ ඊළඟ සැලසුම කුමක්ද යන්න පිළිබඳවය.

මේ සියල්ල අතරවාරයේ සම්පූර්ණ දිනයක් මීගමු මුහුදු සීමාවේ ගතකිරීමෙන් අනතුරුව ඉරිදා දිනයේ ජනාධිපතිවරයා කොළඹ වරාය තුළ පිහිටි එක්තරා ආරක්ෂිත ස්ථානයකට රැගෙන ඒමට ආරක්ෂක අංශ පියවර ගත්හ. (ආරක්ෂක හේතු මත අප එම ස්ථානයේ නම සඳහන් නොකරමු)

ඒ අතරතුර ජනාධිපතිවරයා විපක්ෂ නායක සජිත්ටත්, කතානායකවරයාටත්, සිය හිතවත් ඇමැතිවරුන් කිහිප දෙනකුටත් තෙවැනි පාර්ශ්වයන් හරහා පණිවුඩ කිහිපයක් තැබීමට පියවර ගත්තේය. ඉන් විශේෂම පණිවුඩ කිහිපය ලැබී තිබුණේ විපක්ෂ නායක සජිත්ටය. එසේ සජිත්ට ලැබුණු පළමු පණිවුඩයෙන් කියැවුණේ තමන් ජනාධිපතිවරයා ලෙස තවදුරටත් කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බවත්, යළිත් 19 වැනි සංශෝධනය බලාත්මක කොට විධායක බලතල අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තුවට ලබාදීමට සූදානම් බවත්, අගමැති ධුරය භාරගෙන තමන්ට නාමිකව ජනාධිපති ධුරයේ තවදුරටත් රැඳී සිටීමට අවස්ථාව සලසා දෙන ලෙසත්ය. නමුත් ජනාධිපතිවරයාගේ එම යෝජනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමට පළමු වටයේදීම සජිත් පියවර ගත්තේය. සජිත් පෙරළා ජනාධිපතිවරයාට පණිවුඩයක් තබමින් කියා සිටියේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ ජනාධිපතිවරයකු යටතේ තමන් කිසිසේත්ම අගමැතිවරයා ලෙස දිවුරුම් දීමට සූදානම් නොමැති බවයි.

ඉන් අනතුරුව සජිත්ට තවත් පාර්ශ්වයක් හරහා නැවත වතාවක් පණිවුඩයක් එවීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබිණි. එම පණිවුඩයෙන් කියැවුණේ තමන් සජිත්ව අගමැති කොට ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට සූදානම් බවත්, එහෙත් තමන්ට ඉන් අනතුරුව තමන්ටත්, තම පවුලටත් ආරක්ෂා සහිතව රටේ ජීවත් වීමට වටපිටාව සලසා දිය යුතු බවත්ය. නැතහොත් තමන්ගේ ආරක්ෂාව පිළිබඳ සහතිකයක් අවශ්‍ය බව එම පණිවුඩය හරහා සජිත්ට දැනුම් දීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබිණි. එහිදී සජිත් එම පණිවුඩය ගෙනා තැනැත්තා අතේම පෙරළා ජනාධිපතිවරයාට පණිවුඩයක් යවමින් කියා සිටියේ තමන්ට හිටපු ජනාධිපතිවරයකුට ව්‍යවස්ථාවෙන් හිමි ආරක්ෂාව ලබාදීම පිළිබඳ ගැටලුවක් නැතත් ඉන් එහා යමින් නඩුවලින් නිදහස් කිරීම පිළිබඳ හෝ වෙන යම් නීතිමය කාරණාවලදී හෝ ජනාධිපතිවරයා ආරක්ෂා කිරීමේ සහතිකයක් ලබාදිය නොහැකි යැයි කියාය.

සජිත්ගේ මේ දෙවැනි පණිවුඩයත් සමග ජනාධිපතිවරයා තීන්දු කළේ තවදුරටත් ලංකාවේ සිටියහොත් තම ජීවිතය අවදානමට ලක්විය හැකි බැවින් වහාම ජීවිත ආරක්ෂාව පතා විදෙස්ගත වීමටය. ඒ අනුව ජනාධිපතිවරයා වහාම තීන්දු කළේ මීට පෙර තමන්ට ද්විත්ව පුරවැසිභාවය හිමිව තිබූ සහ සිය එකම දරුවාද ජීවත් වන ඇමෙරිකාව බලා පිටත්ව යෑමටය. අනෙක ජනාධිපතිවරයාගේ බිරිය වූ අයෝමාද ඇමෙරිකානු පුරවැසිභාවය හිමි ද්විත්ව පුරවැසියෙකි. ඒ අනුව ජනාධිපතිවරයා වහාම ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය හරහා අදාළ ඉල්ලීම ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවටත්, වොෂින්ටනයේ අදාළ අංශවලටත් යොමු කිරීමට පියවර ගත්තේය. නමුත් මොහොතක් යෑමට මත්තෙන් ඇමෙරිකානු පාර්ශ්වවලින් දැනුම් දී තිබුණේ ජනාධිපතිවරයා වරක් සිය ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමට පියවර ගෙන ඇති බවත්, එවැන්නක් සිදුකිරිම ඔවුන් ඇමෙරිකානු රජයට කළ නිග්‍රහයක් සේ සලකන බැවින් ජනාධිපතිවරයා අසාදු ලේඛනගත වී ඇති බවත්ය. එම නිසා පළමු වටයේදීම ජනාධිපතිවරයාට වීසා ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට ඇමෙරිකාව පියවර ගත්තේය. යළිත් වීසා ලබාගැනීමට නම් දීර්ඝ ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බවද එහිදී ඔවුන් ජනාධිපතිවරයාට දැනුම් දීමක් කළේය.

මීට අමතරව ඇමෙරිකාවෙන් තවත් බරපතළ පණිවුඩයක්ද ජනාධිපතිවරයාට ලැබිණි. ඒ, ජනාධිපතිවරයාගේ පාලන සමයේදී ජනාධිපතිවරයා හැසිරුණු ආකාරය සහ බලතල ක්‍රියාත්මක කළ ආකාරය සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්න ගණනාවක් ඇමෙරිකානු රජයට මතුව ඇති බවය. එම තත්ත්වය යටතේ ජනාධිපතිවරයාට ඇමෙරිකාවට ඇතුළු වීමට වීසා නිකුත් කළ නොහැකි බවද එම පණිවුඩයෙන් වැඩිදුරටත් කියැවිණි.

ඇමෙරිකාවෙන් ලද මේ අනපේක්ෂිත ප්‍රතිචාරය හමුවේ ජනාධිපතිවරයා මුහුණ දුන්නේ මහත් අසීරුතාවකටය. නමුත් උත්සාහය අත් නොහළ ජනාධිපතිවරයා ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර කොන්සල් ජනරාල්වරයා වන වෛද්‍ය ලලිත් චන්ද්‍රදාස ලවා ඇමෙරිකාවට ඇතුළු විය හැකි ආකාරයක් සොයා බැලුවේය. ලලිත් චන්ද්‍රදාස යනු ජනාධිපතිවරයාගේ නැගනිය විවාහ කරගෙන සිටින තැනැත්තාය. ඥාතීත්වයෙන් ඔහු ජනාධිපතිවරයාගේ මස්සිනාය.

ඒ අනුව ලලිත් නීතිඥවරුන් කණ්ඩායමක් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී ඔවුන් කියා සිටියේ ජනපති බිරිය වන අයෝමා තවමත් ඇමෙරිකානු පුරවැසිභාවය හිමි කාන්තාවක් වන බැවින් එම අවස්ථාව උපයෝගී කරගෙන ජනාධිපතිවරයාට ග්‍රීන් කාඩ් වීසා බලපත්‍රයක් ලබාගැනීමට අයැදුම් පත්‍රයක් යොමු කළ හැකි යැයි කියාය. දැනට ඉතිරිව ඇති එකම විකල්පය එය පමණක් බවද එම නීතිඥවරු ලලිත්ට පෙන්වා දුන්හ. නමුත් එය විශාල කාලයක් ගතවන ක්‍රියාවලියක් බවද ඔවුහු ලලිත්ට දැනුම් දී සිටියහ. මේ බව ලලිත් ජනාධිපතිවරයාට දැනුම් දීමෙන් පසු එම කටයතු ආරම්භ කරන ලෙස දැනුම් දුන් ජනාධිපතිවරයා, සිය ඇමෙරිකානු ගමන අතහැර ඊළඟට යා හැකි ස්ථාන පිළිබඳ සොයා බැලුවේය.

ඒ අනුව අපට ඇති ආරංචිවලට අනුව ජනාධිපතිවරයාගේ දෙවැනි තේරීම වූයේ අයර්ලන්තයය. වහාම අයර්ලන්තයට යෑම සඳහා වීසා අයැදුම්පතක් යොමු කළද කිසිදු හේතුවක් නොදන්වාම අයර්ලන්ත තානාපති කාර්යාලය මගින් එම වීසා අයැදුම්පත ප්‍රතික්ෂේප කිරීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව මහත් කලබලයට පත්ව සිටි ජනාධිපතිවරයා සිය තුන්වැනි තේරීම ලෙස ඇතුළු වීමට පහසු යැයි සැලකෙන බල්ගේරියාවට වීසා ලබාදෙන ලෙස ඉල්ලීමක් කළේය. නමුත් අවසානයේදී එයද ප්‍රතික්ෂේප වීම හරහා ජනාධිපතිවරයාට දෙලෝ රත්විය. කළ යුත්තේ කුමක්ද යන්න සිතාගැනීමටත් නොහැකිව විශාල මානසික කඩාවැටීමකට ලක්වූ ආකාරයක් දැකගත හැකි විය.

ඒ අනුව කිසිදු බටහිර හෝ යුරෝපා රටකට යෑමට නොහැකි බව වටහාගත් ජනාධිපතිවරයා, තවදුරටත් ලංකාවේ සිටිය නොහැකි තත්ත්වයක් උදා වී ඇති බැවින් කෙසේ හෝ වෙනත් රටකට පළා යෑම සඳහා හිත හදා ගත්තේය. එහිදී ජනාධිපතිවරයාගේ අවසන් තේරීම වූයේ මැදපෙරදිග අබුඩාබියය. ඒ අනුව සිය හිතවතුන් දෙදෙනකුට වහාම කතා කළ ජනාධිපතිවරයා තමන්ව අබුඩාබියට යෑමට අවශ්‍ය බව දැනුම් දීමත් සමගම ඔවුන් ඊට අදාළ සියලු කටයුතු වහ වහා සැලසුම් කිරීමට පටන් ගත්තේය. එක් හිතවතකු ජනාධිපතිවරයාට අවශ්‍ය ගුවන් ටිකට්පත් වහාම වෙන් කරද්දී අනෙක් හිතවතා අබුඩාබියේ ආරක්ෂිතව ජනාධිපතිවරයාට නවාතැන් ගත හැකි ස්ථාන සූදානම් කිරීමට පියවර ගත්තේය. ජනාධිපතිවරයාගේ සැලසුම වී තිබුණේ මාසයක පමණ කාලයක් අබුඩාබියේ ආරක්ෂිතව රැඳී සිට ඉන් අනතුරුව ග්‍රීන් කාඩ් වීසා පහසුකම යටතේ බිරියද සමග ඇමෙරිකාවට ඇතුළු වීමටය. ඒ අනුව සඳුදා දිනයේදීම ජනාධිපතිවරයාට රටින් පිටවී අබුඩාබි බලා පිටත්ව යෑමට එටිහාඩ් ගුවන් සේවයට අයත් යානයක් වෙන් කිරීමට පියවර ගැනිණි. අලුයම 5.25ට කටුනායක සිට අබුඩාබිය බලා ඍජුව පියාසර කරන ඊ.වයි. 265 ගුවන් යානය ඒ සඳහා වෙන් කෙරිණි.

මේ ආකාරයට ජනාධිපතිවරයා රටින් පිටවීමට තීන්දු කර ඊට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින අතරවාරයේදී තවත් විශේෂ පුද්ගලයකු රටින් පිටවීම සඳහා ඉතා රහසිගත ආකාරයට කටයුතු සකස් කරමින් සිටියේය. ඒ වෙන කවුරුවත් නොව ජනාධිපතිවරයාගේ බාල සොහොයුරු මෙන්ම හිටපු මුදල් ඇමැතිවරයාද වන බැසිල් රාජපක්ෂය. මේ කලබල අස්සේ බැසිල්ගේද සැලසුම වී තිබුණේ හීන්සීරුවේ කාටත් හොරා ඇමෙරිකාවට පැනගැනීමටය. ඒ අනුව ජනාධිපතිවරයාට පෙර රටින් පිටවීම සඳහා බැසිල් ගුවන් ප්‍රවේශ පත්‍ර වෙන් කළ අතර ඔහුට වෙලාව ලැබී තිබුණේ සඳුදා අලුයම 3.15ටය. කටුනායක සිට ඩුබායි හරහා ඇමෙරිකාව බලා ගමන් ගන්නා ඊ.කේ. 649 එමිරේට්ස් යානය ඒ සඳහා වෙන්කොට තිබිණි.

ඒ අනුව ජනාධිපතිවරයා රටින් පිටවීමේ සැලැස්ම සකස් කොට තිබුණේ බැසිල් ලංකාවෙන් පිටව ගිය පසු නියමිත වෙලාවට ජනාධිපතිවරයාව කොළඹ සිට රත්මලාන ගුවන් තොටුපළ වෙත ගොඩබිම් මාර්ගයෙන් රැගෙන ඒමටත්, ඉන් අනතුරුව ගුවන් මගින් ජනාධිපතිවරයා කටුනායක ආසන්නයේ පිහිටි ගුවන් හමුදා කඳවුර වෙත රැගෙන යෑමටත්ය. පසුව එතැන් සිට ජනාධිපතිවරයා ආරක්ෂිතව ගුවන් තොටුපළට රැගෙන යෑම සැලසුම වී තිබිණි. සාමාන්‍යයෙන් ජනාධිපතිවරයාට ජනපති වරප්‍රසාද යටතේ සිය නිල රථය ගුවන් යානය අසලටම රැගෙන ඒමට හැකියාව පවතින නිසා ගුවන් යානය පිටව යෑමට ඔන්න මෙන්න තියා ජනාධිපතිවරයා එටිහාඩ් ගුවන් යානය වෙත නැංවීමටත්, ජනාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරීන් ආගමන විගමන නිලධාරීන් හමුවේ අදාළ ලිපි ලේඛන කටයුතු සම්පූර්ණ කිරීමත් සැලැස්ම විය.

මේ ආකාරයට ජනාධිපතිවරයා ඉතා රහසිගත ආකාරයට රටින් පිටමං කිරීමට සියලු සැලසුම් සකස් වී තිබුණත් සියල්ල කනපිට පෙරළුණේ බැසිල් රාජපක්ෂ මහතා අලුයම 2.45ට ඇමෙරිකාව බලා පිටත්ව යෑමට ගුවන් තොටුපළ පරිශ්‍රයට පැමිණීමත් සමගය. එහිදී මුදල් ගෙවා ප්‍රභූන් සඳහා වෙන්ව ඇති ‘සිල්ක් රූට්’ හෙවත් සේද මාවත වෙන් කරගැනීමට බැසිල් කටයුතු කළත් ඒ වන විටත් බැසිල් රටින් පිටව යෑම සඳහා ගුවන් තොටුපළට පැමිණ සිටින ඡායාරූප සමාජ මාධ්‍යවල පළවීමත් සමග දැඩි උණුසුම්කාරී තත්ත්වයක් පැනනගින ආකාරයක් දැකගත හැකි විය. විශේෂයෙන්ම ගුවන් තොටුපළේ සිටි සාමාන්‍ය වැසියන් බැසිල්ට විරෝධය පළකරමින් කෑකෝගැසීමට පටන් ගැනීමත් සමග තත්ත්වය කනපිට පෙරළී ගියේය. ආගමන විගමන නිලධාරීන් උණුසුම සමනය කිරීමට උත්සාහ දැරුවත්, විරෝධය පළකළ පිරිස් කියා සිටියේ බැසිල් ගුවන් තොටුපළෙන් නික්ම ගුවන් යානයට ගොඩවුවද ගුවන් යානයේදී ඔහු අල්ලා ගැනීමට තමන් කටයුතු කරන බවකි. ඒ අනුව බැසිල්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් පැනනගින ආකාරයක් මෙහිදී දැකගත හැකි විය. බැසිල්ටද මෙය නොවැටහුණා නොවේ. ඒ අනුව විනාඩි කිහිපයක් ආරක්ෂක නිලධාරීන් සමග සිල්ක් රූට්හි පිහිටි කුඩා කාමරයක රැඳී සිටි බැසිල් ඒ මොහොතේම තම ඇමෙරිකානු ගමන අවලංගු කිරීමට පියවර ගත්තේය. පසුව වහාම ගුවන් තොටුපළෙන් නික්ම යාමටද බැසිල් කටයුතු කළේය.

මෙහිදී තවත් වැදගත් සිදුවීමක්ද සිදුවිය. ඒ, රාජපක්ෂවරුන් හොර රහසේම රටින් පිටවීමට කටයුතු කරන බව කියමින් ‘සිල්ක් රූට්’හි සේවය කළ ආගමන විගමන නිලධාරීන් රාජකාරි කටයුතුවලින් වහා ඉවත් වීමය. එහි ප්‍රතිඵලය වූයේ කිසිදු ප්‍රභූ පුද්ගලයකුට සිල්ක් රූට්හි සේවය ලබාගැනීමට නොහැකි වීමත්, රටින් පිටවන සියලු දෙනා සාමාන්‍ය මගී පර්යන්තය ඔස්සේ ගමන් කිරීමට සිදුවීමත්ය.

මේ ආකාරයට අලුයම 3.15ට එමිරේට්ස් යානයකින් අමෙරිකාව බලා පිටත්ව යෑමට පැමිණි බැසිල්ට ජනතා විරෝධය එල්ල වීමත් සමග රටින් පිටවීමට නොහැකි වූ බවට වූ පුවත මොහොතක් යෑමට මත්තෙන් ජනාධිපතිවරයාටද වාර්තා විය. එම පුවත ජනාධිපතිවරයා පමණක් නොව ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට සිටි නිලධාරීන්ද සලිත කිරීමට සමත් වූ ප්‍රවෘත්තියක් විය. ඒ අනුව කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳ සිතාගත නොහැකිව සිටියදී පැය කිහිපයක් ඇතුළත ලැබුණු ඊළඟ පුවතින් ජනාධිපතිවරයා තුෂ්නිම්භූත වී ගිය ආකාරයක් දැකගත හැකි විය. එම පුවතින් කියැවුණේ ජනාධිපතිවරයාගේ විදෙස් ගමන් බලපත්‍රය රැගෙන ගිය ආරක්ෂක නිලධාරීන් හට ගුවන් තොටුපළේ ආගමන විගමන නිලධාරින් විසින් විරෝධය පළ කොට ඇති බවකි. මුලින් සැලැස්ම වී තිබුණේ ජනාධිපතිවරයා කටුනායක නවතා ඇති ගුවන් යානය සමීපයට නියමිත වෙලාවට එද්දී ආරක්ෂක නිලධාරීන් විසින් අවශ්‍ය ලියකියවිලි ආගමන විගමන නිලධාරීන්ට ලබාදී ඒවාට අනුමැතිය ලබාගැනීමය. නමුත් අර්බුදය පැනනැගුනේ ගුවන් තොටුපළේ ආගමන විගමන නිලධාරීන් ජනාධිපතිවරයාගෙන් විදේශ ගමන් බලපත්‍රයට අනුමැතිය ලබාදීම ප්‍රතික්ෂේප කිරීමත් සමගය. ඔවුන් ආරක්ෂක නිලධාරීන්ට දැනුම් දී සිටියේ අදාළ විදේශ ගමන් බලපත්‍රයට අනුමැතිය ලබාදීමට නම් නීතියට අනුව එම පුද්ගලයා සජීවීව ආගමන විගමන නිලධාරීන් ඉදිරියේ පෙනී සිටිය යුතු බවකි. එසේ නොමැතිව ඊට අනුමැතිය ලබාදිය නොහැකි බව ඔවුහු ජනාධිපතිවරයාගේ අරක්ෂක නිලධාරීන්ට දැනුම් දී සිටියහ.

ඒ අනුව ජනාධිපතිවරයා සඳුදා අලුයම 5.25ට එටිහාඩ් යානයෙන් අබුඩාබිය බලා පිටත්ව යෑමට සූදානම් කර තිබූ ගමනද අවලංගු කරන තැනට වැඩේ සිද්ධ වී තිබිණි. එහි ප්‍රතිඵලය වූයේ ජනතා අරගල හේතුවෙන් ජනාධිපතිවරයාට ලංකාවේ සිටිය නොහැකි තත්ත්වයක් උද්ගතව තිබුණා පමණක් නොව, නිල වශයෙන් ගුවන් යානයක නැගී රටින් පිටව යෑමේ හැකියාවක්ද නොමැති වීමය. හරියටම කියනවා නම් ජනාධිපතිවරයා පත්ව සිටියේ මග හිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී තත්ත්වයකටය. එම තත්ත්වය යටතේ ජනාධිපතිවරයාත් බිරිය අයෝමාත් සිටියේ කරකියාගත දෙයක් නොමැතිව බය බිරාන්තවය.

ඒ අනුව වහාම ඊළඟට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ඉහළ පෙළේ සාකච්ඡාවක් ආරම්භ විය. එහිදී යෝජනා කිහිපයක්ම ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කිරීමට බලධාරීහු පියවර ගත්හ. ඉන් එකක් වූයේ ජනාධිපතිවරයා තවමත් ධුරයේ රැඳී සිටින බැවින් වරප්‍රසාද රැසක් හිමිව පවතින නිසා එම වරප්‍රසාද උපයෝගී කරගෙන රටින් පිට වීමය. ඒ සඳහා ගුවන් හමුදා යානයක් භාවිත කළ හැකි බවද එහිදී කියැවිණි. එවැනි අවස්ථාවකදී ආගමන විගමන නිලධාරීන් ඉදිරියේ සජීවීව පෙනී සිටිය යුතු නැති බවත්, අදාළ ලිපි ලේඛන ආරක්ෂක නිලධාරීන් විසින් ආගමන විගමන නිලධාරීන්ට ලබාදී අනුමැතිය ලබාගත හැකි බවත් එහිදී වැඩිදුරටත් කියැවිණි. ආරක්ෂක අංශ වෙතින් පැමිණි එම යෝජනාවට ජනාධිපතිවරයාගේ සිත ඇදී ගිය ආකාරය එහි සිටි සියලු දෙනාටම පැහැදිලිව දැකගන්නට ලැබිණි.

නමුත් එහිදී තවත් ගැටලුවක් මතුවිය. ඒ, ගුවන් හමුදාවේ ඇති යානාවලට පියාසර කිරීමේ දුර ප්‍රමාණයය. දැනට ගුවන් හමුදාව සතු යානාවලට අබුඩාබිය දක්වා පියාසර කළ නොහැකි අතර උපරිම දුර යා හැක්කේ ඉන්දියාවේ කොචින් වෙතය. ඒ අනුව එතැන් සිට ගුවන් යානාවකට ගොඩවී අබුඩාබිය බලා යායුතු බව එහිදී කියැවිණි.

මීට අමතරව තවත් යෝජනා කිහිපයක්ද ජනාධිපතිවරයාට ඉදිරිපත් විය. ඉන් එක් යෝජනාවක් වූයේ පෞද්ගලික ජෙට් යානාවක් මගින් ජනාධිපතිවරයා විදෙස්ගත වීමය. නමුත් ඊටද ගැටලු කිහිපයක් මතුව තිබිණි. ඉන් එක් ගැටලුවක් වූයේ පෞද්ගලික ජෙට් යානාවක් ගෙන්වන්නේ නම් එය ගොඩබා හැක්කේ කටුනායකටත්, රත්මලාන ගුවන් තොටුපළටත් පමණි. නමුත් කටුනායකින් පිටත් වන්නේ නම් ඊටද ආගමන විගමන බලධාරීන්ගේ අනුමැතිය අවශ්‍යය. එම නිසා පෞද්ගලික ජෙට් යානයක් කටුනායකට ගෙන ඒමේ යෝජනාව කුණුකූඩෙට වැටිණි. එමෙන්ම මීට පෙර රත්මලානට පෞද්ගලික ජෙට් යානා ගොඩබැස්වීමට අවස්ථාව හිමිව තිබුණද ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසු එම පහසුකම අත්හිටුවීමට පියවර ගෙන තිබූ නිසා රත්මලානෙන් ගුවන්ගත වීමට තිබූ අවස්ථාවද අහිමිව ගොස් තිබිණි. ඒ අනුව තීන්දු වූයේ ඉදිරිපත් වූ අවසන් යෝජනාව වූ ඉන්දියාවේ කොචින් වෙත හමුදාවට අයත් ආරක්ෂක හෙලිකොප්ටරයකින් ජනාධිපතිවරයා රැගෙන ගොස් එතැනින් ඩුබායි බලා රැගෙන යාමටය. වහාම ඒ සම්බන්ධයෙන් ඉන්දියාව හා සාකච්ඡා ආරම්භ වූයේ එම තීන්දුව ගැනීමෙන් අනතුරුවය.

බොහෝ දෙනා සිතා සිටියේ පසුගිය කාලසීමාවේදී ඉන්දියාව සමග ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව සමීප සබඳතාවක් පවත්වාගෙන ගිය නිසා මේ අවස්ථාවේදීද ඉන්දියාව නොපැකිලව ජනාධිපතිවරයාට උදව් කරනු ඇතැයි කියාය. මන්ද යත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වූ වහා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදෙනු ලැබ තිබිණි. එමෙන්ම සියලු ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කරමින් පුනර්ජනනීය විදුලිබල ව්‍යාපෘතිවල ඒකාධිකාරය ඉන්දීය සමාගමක් වූ අදානි සමාගමට පැවරීමට පියවර ගත්තේය. මේ කරුණු නිසාම ආර්ථික වශයෙන් දැඩි අර්බුදයට ලක්වී සිටි ඉකුත් මාස කිහිපයේදී ඉන්ධන ලබාගැනීම සඳහා මාස තුනක ණය පහසුකමක්ද ලබාදීමට ඉන්දියාව කටයුතු කර තිබිණි. ඒ අනුව මෙම ඉල්ලීමටද ඉන්දියාව ඉඩ ලබාදී ජනාධිපතිවරයා මුහුණ දී සිටින ජීවිත තර්ජනයෙන් මුදාගැනීමට ඉන්දියාව කටයුතු කරනු ඇති බව බොහෝ දෙනාගේ මතය විය.

නමුත් තත්ත්වය එසේ නොවීය. ශ්‍රී ලංකාවේ සිදුවන සෑම සෙලවීමක් කෙරෙහිම හොඳින් ඇස ගසාගෙන සිටි ඉන්දියාව ජනතා විරෝධය ඉතා විශාල වශයෙන් රාජපක්ෂවරුන් වෙතත්, විශේෂයෙන් ජනාධිපතිවරයා වෙතත් එල්ල වෙමින් තිබෙන බව වටහාගෙන සිටියේය. විශේෂයෙන්ම මේ මොහොතේ ජනාධිපතිවරයාට රටින් පලා යෑමට උපකාර කළහොත් එම විරෝධය ඉන්දියාව දෙසට හැරෙනු ඇති බව ඉන්දීය බලධාරීන්ගේ තක්සේරුව විය. ඒ අනුව ලංකාවෙන් ලැබුණු ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ඉන්දීය බලධාරීන් ඊට හේතු වශයෙන් පෙන්වා දුන්නේ ඉන්දීය නීතිය අනුව කිසිදු ආරක්ෂක අංශයකට අයත් යානයකට හෝ හෙලිකොප්ටරයකට ඉන්දියාව තුළ ගොඩබෑම තහනම් කොට ඇති බවකි. අවසන් මොහොතේ ඉන්දියාවෙන් ලැබුණු මෙම ප්‍රතිචාරයත් සමග ජනාධිපතිවරයාට කරකියාගත හැකි දෙයක් නොවීය.

ඒ අනුව ජනාධිපතිවරයාට රටින් පිටවීම සදහා ඉතිරිව තිබුණේ එකම එක තුරුම්පුවක් පමණි. ඒ, ගුවන් හමුදා යානයකින් කෙසේ හෝ මාලදිවයිනට ගොස් එතැනින් සිංගප්පූරුව බලා පිටත්ව අවසන් ගමනාන්තය වූ අබුඩාබිය බලා නික්ම යෑමය. වෙනත් කිසිදු අවස්ථාවක් නොවූ බැවින් ජනාධිපතිවරයා අවසානයේ ඊට එකඟ වීමට පියවර ගත්තේය. ඒ අනුව සැලැසුම වූයේ හමුදා හෙලිකොප්ටරයකින් මාලදිවයින බලා පිටත්ව ගොස් ඊළඟට ඇති ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා පිටත්ව යෑමටත්, එහි මාසයක පමණ කාලයක් ගතකොට එතැනින් අබුඩාබිය බලා පිටත්ව යෑමටත්ය. අබුඩාබියේ හිඳිමින් ඇමෙරිකාවට ඇතුළු වීමට අවශ්‍ය කටයුතු සම්පූර්ණ කිරීම අවසාන සැලසුම විය. යම් හෙයකින් මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා පිටත්ව යෑමේදී සාමාන්‍ය මගී ගුවන් යානයක ගමන් කිරිම සිදුවීම නිසා එහිදී යම් විරෝධයක් පැනනැගුණහොත් වැඩි මිලක් ගෙවා විශේෂ ගුවන් යානයක් ගෙන්වා ගැනීමටද සැලසුම් සකස් කෙරිණි.

ඒ අනුව මාලදිවයිනේ මෙහෙයුම සැලසුම් කිරීම භාර කෙරුණේ එරට වත්මන් කතානායකවරයා මෙන්ම හිටපු ජනාධිපතිවරයාද වන මොහොමඩ් නෂීඩ් සමග අතිසමීප සම්බන්ධයක් පවත්වාගෙන යන මහින්දටත්, නාමල්ටත්ය. ඔවුන් දෙදෙනා වහාම නෂීඩ්ට කතා කොට දැනට රට තුළ මතුව ඇති තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමක් කොට කියා සිටියේ හැකි ඉක්මනින් ජනාධිපතිවරයාට මාලදිවයිනට ඇතුළු වීමට ඉඩ ලබාදී එතැනින් සිංගප්පූරුව දක්වා ගමන් කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදෙන ලෙසටය. ඒ වන විට ඉන්දියාවද ජනාධිපතිවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කොට තිබීම නිසා ඊට එක් වරම මාලදිවයින් බලධාරීන්ගේ එකඟතාව ලබාගැනීම අසීරු කටයුත්තක් බව නෂීඩ්ටද වැටහී ගොස් තිබිණි. නමුත් රාජපක්ෂ පවුල සමග අතිශය හිතවත් සමීප සබඳතාවක් පවත්වාගෙන යෑම හේතුකොට ගෙන ඉන් කරඅරින්නටද නෂීඩ්ට හැකියාවක් නොවීය.

ඒ අනුව පැය කිහිපයක මෙහෙයුමින් පසු ජනාධිපතිවරයාට ගුවන් හමුදා විශේෂ යානයකින් මාලදිවයිනට ඇතුළු වීම සඳහා මාලදිවයින් ජනාධිපතිවරයාගෙන් අවසර ලබාගැනීමට නෂීඩ්ට හැකියාව ලැබිණි. එම තොරතුර ලංකාවට දැනුම් දීමත් සමග බදාදා අලුයම කාලයේදීම ජනාධිපතිවරයාත්, බිරිය අයෝමාත් රටින් පිට කිරීම සඳහා අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කිරීමට ගුවන් හමුදාව පියවර ගත්තේය. ඒ සඳහා ඔවුන් යොදාගත්තේ ගුවන් හමුදාවට අයත් ප්‍රභූන් ප්‍රවාහනය කිරීම පිණිස යොදාගන්නා ඇන්ටනොව් 32 වර්ගයේ යානයකි. රාජපක්ෂ යුවලට අමතරව තවත් එහි සිටියේ එක් ආරක්ෂක නිලධාරියකු පමණක් වීමද විශේෂත්වයකි. ඒ අනුව බදාදා අලුයම 1.30ට පමණ ජනාධිපතිවරයා රැගත් ගුවන් යානය අලුයම 3 පමණ වන විට මාලදිවයිනේ අගනුවර වූ මාලේ පිහිටි ගුවන් තොටුපළ වෙත ගොඩබැස්සවීමට පියවර ගෙන තිබිණි. සෙනසුරාදා පෙරවරුවේ සිට දින 4ක් පුරා සිදුකළ දීර්ඝ මෙහෙයුමක් අවසන් වූයේ ඒ ආකාරයටය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා රටින් පිටව මාලදිවයිනට පය ගැසූ සැණින් ප්‍රශ්න සියල්ල අවසන් වනු ඇති බව බොහෝ දෙනා සිතා සිටියත් එය එසේ වූයේ නැත. ඊට හේතුව වූයේ ජනාධිපතිවරයා මාලදිවයිනට පලා ආ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කිරීමත් සමග මාලදිවයිනේ සිටින ලාංකිකයන් සහ මාලේ වැසියන්ද පාරට බැස එරට බලධාරීන්ටත්, ගෝඨාභය රාජපක්ෂ මහතාටත් එරෙහිව විරෝධතා දැක්වීම ආරම්භ කිරීමය. අවසානයේදී මෙම විරෝධතා විසුරුවා හැරීමට මාලේ බලධාරීන්ට පොලිසිය යෙදවීමටද සිදුවිය.

කෙසේ වෙතත් කිසිවකුත් නොසිතූ පරිදි වර්ධනය වූ මෙම තත්ත්වය යටතේ ජනාධිපතිවරයා ඊළඟ ගුවන් යානයෙන්ම සිංගප්පූරුව බලා ගමන් කිරීමට කර තිබූ සැලසුම වහාම වෙනස් කිරීමට සිදුවිය. ඒ, යම් හෙයකින් ගුවන් යානයේදී ජනාධිපතිවරයාට යම් විරෝධයක් එල්ල වුවහොත් අනතුරුදායක තත්ත්වයක් මතුව තිබූ බැවිනි. ඒ අනුව ආරක්ෂක අංශ විසින් ජනාධිපතිවරයාගේ සිංගප්පූරු ගමන පමා කිරීමට සැලසුම් කළ අතර ආරක්ෂා සහිතව මාලදිවයිනේ දකුණු කෙළවරේ පිහිටි අතිසුඛෝපභෝගී සුපිරි පන්නයේ හෝටලයක් වෙත රැගෙන යෑමට පියවර ගෙන තිබිණි. මෙම පුවත් අපේ රටේ මාධ්‍ය වාර්තා නොකළද ඉන්දීය මාධ්‍ය නම් එම හෝටලයේ ඡායාරූප සියල්ල විකාශය කිරීමට පියවර ගෙන තිබුණේ සිය නාලිකාවල විනාඩි ගණන් ඊට වෙන්කරමිනි. එහිදී ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබුණේ මෙම හෝටලයේ නවාතැන් ගැනීම සඳහා එක් රැයකට ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 18ක් පමණ වැයවෙතැයි කියාය.

කෙසේ වෙතත් මෙසේ මාලදිවයිනේ දකුණුදිග ප්‍රදේශයේ නවාතැන් ගෙන සිටියදී පවා ජනාධිපතිවරයා සැලසුම් කළේ සිංගප්පූරුවට ගමන් කරන ආකාරය පිළිබඳවය. සාමාන්‍ය මගී යානයක පවතින තත්ත්වය යටතේ ගමන් කළ නොහැකි බැවින් අවසානයේදී තීන්දු වූයේ විශේෂ ගුවන් යානයක් කුලියට ගෙන, ඒ මගින් සිංගප්පූරුව බලා පිටත්ව යෑමටය. ඔවුන්ට එහිදී මතු වූ ගැටලුව වූයේ ජනාධිපතිවරයා එසේ සිංගප්පූරුවට ගෙන යෑම සඳහා පෞද්ගලික ගුවන් යානා සපයන ආයතන විසින් සාමාන්‍යයෙන් ගෙවිය යුතු මුදල මෙන් සිවුගුණයක මුදලක් ඉල්ලා සිටීමය. ඔවුන් පෙන්වා දුන්නේ මේ අවස්ථාවේ ජනාධිපතිවරයා ගුවනින් රැගෙන යන්නේ නම් විශාල අවදානමක් දැරිය යුතු බවත්, ඒ සඳහා සාමාන්‍ය ගෙවීමට වඩා සිවුගුණයක මුදලක් අවශ්‍ය බවත්ය. අවසානයේ කළ හැකි වෙනත් කිසිවක් නොවූ තැන ඊටද එකඟතාව පළ කිරීමට ජනාධිපතිවරයාගේ පාර්ශ්වය කටයුතු කර තිබිණි.

නමුත් ජනාධිපතිවරයාට එරෙහිව වර්ධනය වෙමින් පැවැති ජාත්‍යන්තර විරෝධය හමුවේ අවසානයේදී එම පෞද්ගලික ගුවන් සේවයද අවසන් මොහොතේ දැනුම් දුන්නේ තමන්ට ජනාධිපතිවරයා රැගෙන සිංගප්පූරුව බලා පියාසර කළ නොහැකි බවකි. ඒ අනුව අවසන් මොහොතේත් ජනාධිපතිවරයාගේ සිංගප්පූරු ගමනට තවත් බාධාවක් එල්ල වු ආකාරයක් දැකගත හැකි විය. නමුත් කෙසේ හෝ සිංගප්පූරුව බලා පිටත්ව යා යුතු බැවින් අවසානයේදී ජනාධිපතිවරයා තීන්දු කළේ සෞදි ගුවන් සේවයට අයත් සාමාන්‍ය මගී යානයක නැගී සිංගප්පූරුව බලා පිටත්ව යෑමටය. ඒ අනුව බදාදා දහවල් වන විට ජනාධිපතිවරයා සෞදි ගුවන් සේවයට අයත් එස්.වී. 788 දරන යානයේ නැගී සිය බිරියද සමග මාලදිවයින බලා පිටත්ව ගිය ආකාරයක් දැකගත හැකි විය.

ඒ අනුව ජනාධිපතිවරයා මේ වන විට සිංගප්පූරුවේ රැඳී සිටින්නේ තමන්ට අතිශය හිතවත් ප්‍රබල ව්‍යාපාරිකයකුගේ ආරක්ෂාව යටතේය. මෙම ප්‍රබල ව්‍යාපාරිකයා අවස්ථා කිහිපයකදීම ලංකාවට ආගිය අයකු ලෙස සැලකෙන අතර සිංගප්පූරු රජය සමගද සමීප හිතවත්කම් පවත්වන්නකු බවට ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ අනුව තමන් දින 969ක් පුරා දැරූ ජනාධිපති ධුරයට ආයුබෝවන් කියමින් සය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත එවීමට ගෝඨාභය පියවර ගත්තේ ආරක්ෂිතව සිංගප්පූරුවේ ගොඩබැසීමෙන් අනතුරුවය.

මෙම ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත එවීම පිටුපසද කිසිවකුත් නොදන්නා අපූරු කතාවක් තිබේ. ජනාධිපතිවරයා රටින් පිටවීමට පෙර සිටම දැනුම් දී තිබුණේ ජූලි 13 වැනි බදාදා දින තමන් සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට එවන බවකි. ඒ අනුව අරගලකරුවන්ගෙන් දිගින් දිගටම බලපෑම් එල්ල වෙද්දී කතානායකවරයාද අවස්ථා කිහිපයකදීම කියා සිටියේ 13 වැනි දින ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්වීම ලබාදෙන බව තමන්ට දැනුම්දී ඇති බවකි.

නමුත් ප්‍රශ්නය පැනනැගුනේ 13 වැනි බදාදා රාත්‍රිය වන විටත් ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම කතානායකවරයා වෙත ලැබී නොතිබීම හේතුකොටගෙනය. ඒ අනුව බොහෝ දෙනා කතානායකවරයාට දිගින් දිගටම කතාකොට ඉල්ලා අස්වීම ලැබුණේදැයි විමසද්දී කතානායකවරයාද පිළිතුරු දෙමින් කියා සිටියේ තවමත් තමන්ට එවැනි ලිපියක් ලැබී නොමැති බවයි. ඒ වන විටත් ජනාධිපතිවරයා මාලදිවයිනේ සිට සිංගප්පූරුවට යෑමට නොහැකිව සිරව සිටීම නිසා මෙම ලිපිය කතානායකවරයාට යොමු කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබිණී.

ඒ අනුව කතානායකවරයාද දිගින් දිගටම ජනාධිපතිවරයාට කතා කොට ඉල්ලා අස්වීමේ ලිපිය පිළිබඳ විමසීමට උත්සාහ දැරුවද ඒ කිසිදු අවස්ථාවක ජනාධිපතිවරයා දුරකතනයෙන් සම්බන්ධ කරගැනීමට කතානායකවරයාට හැකියාව ලැබුණේ නැත. මේ නිසාම එක් අවස්ථාවකදී ජනාධිපතිවරයා මෙම ඉල්ලා අස්වීම නොදී මඟහරින බවට වූ සිතුවිල්ලක්ද කතානායකවරයා මතුව තිබිණි. ඒ බව කතානායකවරයා තමන්ට හිතවත් පක්ෂ නායකයන් කිහිප දෙනකුට දැනුම්දී තිබූ බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එහිදී කතානායකවරයා ඔවුන්ට කියා තිබුණේ ‘මට පේන්නේ මෙයා ඉල්ලා අස්වීමේ ලියුම එවන්නේ නෑ වගේ. මේ වැඩේ නිසා මටත් එපා වෙලයි තියෙන්නේ. මමත් හිතුණොත් කතානායකකමෙන් ඉල්ලා අස්වෙලා මගේ වැඩක් බලාගන්නවා…’ යනුවෙනි.

කෙසේ වෙතත් බදාදා මධ්‍යම රාත්‍රිය වනතුරුත් කියූ පරිදි ඉල්ලා අස්වීමේ ලිපිය නොලැබුණු නිසා අවසන් වතාවට යළිත් වතාවක් ජනාධිපතිවරයාට ඇමතුමක් ලබාගැනීමට කතානායකවරයා කටයුතු කළේය. ඒ අවස්ථාවේදී ජනාධිපතිවරයා අල්ලා ගැනීමට කතානායකවරයාට හැකි විය. නමුත් සිංගප්පූරුවට යානොහැකිව බරපතළ මානසික කඩාවැටීමකට ලක්ව සිටීම නිසා ජනාධිපතිවරයා ඒ වන විට සිටියේ දැඩි කේන්තියකිනි. ඒ නිසාම එම කේන්තිය ගියේ කතානායකවරයා පිටිනි.

මට මගේ පාඩුවෙ ඉන්න දෙන්න. මම මෙතන ලොකු ප්‍රශ්නයක පැටලිලයි ඉන්නෙ. පොඩ්ඩක් ඉවසලා ඉන්න. මම ඉල්ලා අස්වීම එවන්න පුළුවන් වෙලාවට එවන්නම්. එතකන් ඔයා ඔයාගෙ වැඩක් බලාගෙන ඉන්න…’ යනුවෙන් එහිදී කතානායකවරයාට දොස් තැබූ ජනාධිපතිවරයා වහාම දුරකතනය විසන්ධි කිරීමටද පියවර ගත්තේය.

ජනාධිපතිවරයාගේ මම ප්‍රකාශයෙන් පසුව කතානායකවරයාද දැඩි කලකිරීමට පත්ව ඉන් පසුව සිදුකළ හැකි කටයුතු පිළිබඳ නීති උපදෙස් ලබාගැනීමට පියවර ගත්තේය. එහිදී එක් මතයකින් කියැවුණේ එසේ ජනාධිපතිවරයා ඉල්ලා අස්වන බව රටට දැනුම් දී ඉල්ලා අස්වීමේ ලිපිය යොමු නොකරන්නේ නම් ජනාධිපතිවරයා ධුරය හැර ගියා සේ සලකා ඉදිරි රාජකාරි කරගෙන යාහැකි බවකි. ඒ අනුව කතානායකවරයාද බ්‍රහස්පතින්දා පෙරවරුවේම එය ප්‍රකාශයට පත්කරමින් කියා සිටියේ ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය 13 වැනිදා ලබාදෙන බව කීවත් මෙතෙක් එය ඉදිරිපත් කොට නොමැති බවත්, ඒ හේතුවෙන් ජනාධිපතිවරයා ධුරය හැරගියාසේ සලකා කටයුතු කරන බවත්ය.

කෙසේ වෙතත් කතානායකවරයා මෙම ප්‍රකාශය සිදුකොටෙ විනාඩි කිහිපයක් ඇතුළත මාලදිවයිනේ සිරවී සිටි ජනාධිපතිවරයාටද ඒ බව දැනගන්නට ලැබිණි. ඉන් කලබලයට පත්වූ ජනාධිපතිවරයා වහාම කතානායකවරයාට කතාකොට පෙර අවස්ථාවේ කෝපයෙන් යුතුව කතාකිරීම සම්බන්ධයෙන් සිය කනගාටුව පළකිරීමට පියවර ගත්තේය.

‘නෑ කතානායකතුමා, ඔබතුමා කලබල වෙන්න එපා. මම ඒ වෙලාවෙ ලොකු ස්ටේ‍රස් එකක හිටියෙ. මම සිංගප්පූරුවට ගිය ගමන් අනිවාර්යයෙන්ම ඉල්ලා අස්වීමේ ලියුම එවනවා. ඒක ඔබතුමා ප්‍රකාශයට පත්කරන්න…’ යනුවෙන් ජනාධිපතිවරයා කතානායකවරයාට එහිදී දැනුම් දී සිටියේය.

නමුත් කතානායකවරයා ජනාධිපතිවරයාගේ කතාව පිළිගැනීමට සූදානම් වුණේ නැත. ඒ වෙනුවට කතානායකවරයා කියා සිටියේ ඉල්ලා අස්වීමේ ලිපිය තමන්ගේ අතට ලැබුණු පසු එය ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කරන්නම් යැයි කියාය. එමෙන්ම මෙම ප්‍රශ්නය මුල්කරගෙ තමන්ද දැඩි පීඩනයකට පත්ව සිටින බවද එහිදී කතානායකවරයා ජනාධිපතිවරයාට දැනුම් දී සිටියේය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා පොරොන්දු වූ පරිදිම සිංගප්පූරුවට පය තැබූ වහාම කතානායකවරයා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය වට්ස්ඇප් මාර්ගයෙන් යොමු කිරීමට පියවර ගත්තේය. ඉන් අනතුරුව කතානායකවරයාට දුරකතන ඇමතුමක් ගත් ජනාධිපතිවරයා තමන් ඉල්ලා අස්වීමේ ලිපිය වට්ස්ඇප් කොට ඇති බවත්, එය ප්‍රකාශයට පත්කරන ලෙසත් දැනුම් දී සිටීමට පියවර ගත්තේය. නමුත් මෙහිදී කතානායකවරයා එය ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කිරීම විශේෂ සිදුවීමක් විය. ඊට හේතු දක්වමින් කතානායකවරයා කියා සිටියේ තමන් මෙහි නීතිමය පැත්ත සම්පූර්ණයෙන්ම අධ්‍යයනය කළ බවත්, වට්ස්ඇප් මගින් නොව ඉල්ලා අස්වීමේ ලිපිය සියතට ලැබෙන තෙක් තමන්ට එය ප්‍රකාශයට පත්කළ නොහැකි බවත්ය.

එවිට ජනාධිපතිවරයා කියා සිටියේ තමන් නියත වශයෙන්ම ලිපිය කතානායකවරයාගේ අතට ලැබෙන්නට සලස්වන බවත්, එතෙක් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ලැබුණු බව ප්‍රකාශයට පත්කරන ලෙසත්ය. නමුත් එයද ප්‍රතික්ෂේප කරමින් කතානායකවරයා පෙරළා ප්‍රකාශ කොට සිටියේ ලිපිය තමන් අතට ලැබෙන තෙක් එය ප්‍රකාශයට පත් නොකරන බවය. එහිදී තරමක් කෝපයට පත් ජනාධිපතිවරයා එදින රාත්‍රී 12ට සිංප්පූරුවේ සිට ලංකාව බලා ගුවන් යානයක් පැමිණීමට නියමිත බවත්, එම ගුවන් යානයේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය එවන බවත් කියා සිටියේය.

ඒ අනුව කතානායකවරයා ජනාධිපතිවරයා එවනු ලැබූ වට්ස්ඇප් ලිපිය ගෙන එහි නීත්‍යනුකූලභාවය පරීක්ෂා කිරීම සඳහා අදාළ නීති අංශ වෙත යොමු කිරීමට පියවර ගත්තේය. නිති අංශයේ නිලධාරීන් එය පරීක්ෂා කොට බලා කතානායකවරයාට දැනුම් දී සිටියේ මෙම ලිපිය නීත්‍යනුකුලව පිළිගත නොහැකි එකක් යැයි කියාය. ඊට හේතු වශයෙන් ඔවුන් පෙන්වා දුන්නේ ජනාධිපතිවරයකු සිය ඉල්ලා අස්වීමේ ලිපියක් ඉදිරිපත් කරන්නේ නම් එය කතානායකවරයාගේ නමට යොමු කොට එවිය යුතු බවත්, ජනාධිපතිවරයා විසින් එවා ඇති ලිපියේ එවැනි යොමුකිරීමක් නොමැති නිසා එය නීත්‍යනුකූල නොමැති බවත්ය.

නීති අංශ මෙම තර්කය ඉදිරිපත් කිරිමත් සමග වහාම ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතාට කතා කළ කතානායකවරයා ජනාධිපතිවරයා විසින් එවා ඇති ඉල්ලා අස්වීමේ ලිපිය පිළිගත නොහැකි බවත්, එම ලිපියේ යොමු කිරීම සඳහන්ව නොමැති බවත් දැනුම් දී සිටියේය. ඒ අනුව වහාම තමන්ට එය යොදා නැවත ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකරන ලෙස කතානායකවරයා ගාමිණීට දැනුම් දී සිටියේය.

කෙසේ වෙතත් මේ බව දැනුම් දී මොහොතක් යෑමට මත්තෙන් කතානායකවරයා මුණගැසීමට ජනාධිපතිවරයාගේ ළඟම හිතවතුන් දෙදෙනෙක් පැමිණියහ. ඒ, ජනාධිපති නීතිඥ අලි සබි්‍රත්, මහාචාර්ය ජී.එල්. පීරිසුත්ය. ඔවන් දෙදෙනා පැමිණ කතානායකවරයාට දැනුම් දී සිටියේ ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය නීත්‍යනුකූල බවත්, ඊට කතානායකවරයා වෙත යොමු කරන බවට වූ සඳහනක් අනවශ්‍ය බවත්ය. නමුත් ඒ වන විටත් ව්‍යවස්ථාවේ ඇති ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ කොටස හොඳ හැටි අධ්‍යයනය කර සිටි කතානායකවරයා මෙම මන්ත්‍රීවරුන් දෙදෙනාටද කියා සිටියේ එම යොමුකිරීම නොමැතිව තමන් ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම කිසිසේත්ම පිළිගැනීමට සූදානම් නොමැති බවකි. එමෙන්ම නැවත වතාවක් ගාමිණී සෙනරත්ට කතා කළ කතානායකවරයා මේ බව දැනුම් දුන් පසු ගාමිණී කියා සිටියේ කෙසේ හෝ බ්‍රහස්පතින්දා රාත්‍රිය වීමට පෙරාතුව එම ලිපිය ගෙන්වා ගැනීමට කටයුතු කරන බවකි.

ඒ අනුව අදාළ නිල ලිපිය බ්‍රහස්පතින්දා පස්වරුවේ කතානායකවරයා අතට පත්කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබිණි. 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments