පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් සංවිධානය කළ ‘සිවුරට යුක්තිය – නිදහසේ පාද යාත්රාව’ අද (15) කොළඹට ළඟා වීමට නියමිතය.පසුගිය 10 වැනිදා මහනුවර ඓතිහාසික ශ්රී දළදා මාලිගා පරිශ්රයෙන් ආරම්භ වූ පාද යාත්රාව කඩුගන්නාව, කෑගල්ල, වරකාපොළ, නිට්ටඹුව සහ කඩවත යන නගර පසුකරමින් ඉදිරියට ගමන් කළේය. ඊයේ (14) දිනයේදී එය කඩවත නගරයෙන් අවසන් විය.ඒ අනුව, අද උදෑසන කඩවත නගරයෙන් යළි ආරම්භ වන පාද යාත්රාව කොළඹ දක්වා ගමන් කිරීමට නියමිතය.පාද යාත්රාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් පූජ්ය උලපනේ සුමංගල හිමියන් සඳහන් කළේ, ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස රජයට බලකර සිටින බවයි.කොළඹට පැමිණීමෙන් පසු ජනාධිපතිවරයා දැනුම් දෙන ඕනෑම ස්ථානයකට යාමට සූදානම් බවත්, එම පණිවුඩය ලැබෙන තුරු බලා සිටින බවත් උන්වහන්සේ පැවසූහ. සාමකාමීව ඉදිරිපත් කරන ඉල්ලීම්වලට ප්රතිචාර නොලැබුණහොත් වෙනත් ආකාරයකින් සිය ඉල්ලීම ඉදිරිපත් කිරීමට සිදුවනු ඇති බවටද උන්වහන්සේ අනතුරු ඇඟවූහ.මේ අතර, වර්තමානයේ භික්ෂු සමාජය දැඩි තර්ජනයකට මුහුණ දී සිටින බව ආචාර්ය පූජ්ය බෙල්ලන්විල ධම්මරතන හිමියෝ පවසති.

