Homeසියලුම පුවත්ඩිජිටල් රක්ෂණ කාඩ්පත් ගැන පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

ඩිජිටල් රක්ෂණ කාඩ්පත් ගැන පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

ඩිජිටල් රක්ෂණ කාඩ්පත් පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ලබාදී ඇති උපදෙස් සහ මාර්ගෝපදේශ නොතකා රියදුරන් අපහසුතාවයට පත්කරන පොලිස් නිලධාරීන් බරපතළ රාජකාරි පැහැරහැරීමක් සිදුකරන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා පවසයි.

අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, පාදුක්ක සහ ගම්පහ පොලිස් ස්ථානවල නිලධාරීන් කිහිපදෙනෙකු ඩිජිටල් රක්ෂණ කාඩ්පත් පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින් මහජනතාව අපහසුතාවයට පත්කළ බවට වාර්තා වී ඇති බවයි.

2026.05.05 වැනිදා නිකුත් කළ R.T.M. 93 පණිවුඩය මගින් පොලිස්පතිවරයා දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇත්තේ රක්ෂණ නියාමන කොමිෂන් සභාව අනුමත කළ ප්‍රමුඛ රක්ෂණ ආයතන 14ක් විසින් නිකුත් කරන ඩිජිටල් රක්ෂණ කාඩ්පත් නිල වශයෙන් පිළිගන්නා ලෙස බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

2006 අංක 19 දරන විද්‍යුත් ගනුදෙනු පනත යටතේ ඩිජිටල් රක්ෂණ කාඩ්පත් සඳහා පූර්ණ නීතිමය පිළිගැනීමක් හිමිවන බවද ඔහු සඳහන් කළේය.

රියදුරෙකු සතුව ඩිජිටල් රක්ෂණ කාඩ්පත නොමැති අවස්ථාවකදී වුවද, රක්ෂණාවරණය සක්‍රියද යන්න තහවුරු කරගැනීම සඳහා පොලිස් නිලධාරීන්ට නොමිලේ ලබාදෙන ක්‍රම කිහිපයක් භාවිත කළ හැකි බවද පැවසීය.

ඒ අනුව *1338# අමතා රක්ෂණ අංකය හෝ වාහන අංකය ඇතුළත් කිරීමෙන් තොරතුරු ලබාගැනීමටත්, 1338 අංකයට SMS පණිවිඩයක් යොමු කිරීමටත්, 1338 ක්ෂණික ඇමතුම් මධ්‍යස්ථානය ඇමතීමටත් හැකියාව පවතී.

මේ සම්බන්ධයෙන් දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන 607ක ස්ථානාධිපතිවරුන් මගින් පහළ නිලධාරීන් යළි දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

යම් පොලිස් නිලධාරියෙකු ඩිජිටල් රක්ෂණ කාඩ්පත පිළිගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, ඒ පිළිබඳව ළඟම පිහිටි පොලිස් ස්ථානාධිපතිවරයාට හෝ රථවාහන මූලස්ථානයේ 070 47 55 600 යන විශේෂ දුරකථන අංකයට පැමිණිලි කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

එවැනි නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවද නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments