Friday, October 4, 2024
Homeදේශපාලනදයාසිරිගේ ඉල්ලීම උසාවියෙන් විසි වෙයි - නව ලේකම්ට වාරණයක්

දයාසිරිගේ ඉල්ලීම උසාවියෙන් විසි වෙයි – නව ලේකම්ට වාරණයක්

සාමාජිකයකු ගැන තීන්දුවක් ගන්න සභාපතිට හැකි වුවත් ලේකම් පත් කළ යුත්තේ මධ්‍යම කාරක සභාවයි.

කොළඹ ප්‍රධාන දිසා විනිසුරු

තමාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අත්හිටුවමින් හිටපු ජනපති, පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය 5 දින නිකුත් කළ ලිපිය ක්‍රියාත්මක කිරීම වළක්වන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී, පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා කළ ඉල්ලීම කොළඹ දිසා අධිකරණය ඊයේ (8) ප්‍රතික්ෂේප කළේය.

වාරණ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ප්‍රකාශ කළේ පක්ෂ ව්‍යවස්ථාව අනුව සාමාජිකයකු සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමේ බලය පක්ෂයේ සභාපතිවරයාට ඇති බවයි.

පැමිණිලිකාර දයාසිරි ජයසේකර මහතා මෙතෙක් හෙබවූ මහලේකම් ධුරයට පත් කර ඇති සරත් ඒකනායක මහතා එම ධුරයේ කටයුතු කිරීම වළක්වමින් වාරණයක් නිකුත් කිරීමට නියෝග කළ දිසා විනිසුරුවරයා මහලේකම් ධුරය පත් කළ යුත්තේ පක්ෂ මධ්‍යම කාරක සභාව මගින් බව පෙන්වා දුන්නේය. මේ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයට පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් කෙනකු පත් කරන තෙක් හිස්ව පවතින බවද විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව වාරණ නියෝග තුනක් නිකුත් කරන්නැයි ඉල්ලා දයාසිරි ජයසේකර මහතා විසින් පැවරූ නඩුව විභාගයට ගෙන නියෝගය නිකුත් කිරීමේදී දිසාවිනිසුරුවරයා එසේ පැවසීය.

දයාසිරි ජයසේකර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ඉක්ක්‍රාම් මොහොමඩ් මහතා ඒකපාර්ශ්විකව අධිකරණයේ කරුණු දැක්වීමට පටන් ගත් මොහොතේ මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා ඇතුළු නීතිඥ මණ්ඩලයක් අධිකරණයේ පෙනී සිටිමින් කරුණු දක්වන බවට දිසා විනිසුරුවරයාට දන්වා සිටියේය. විත්ති පාර්ශවයට සිතාසි නිකුත් කර නැති නමුත් දෙපාර්ශ්වයටම කරුණු දැක්විය හැකි බවට විනිසුරුවරයා දන්වා සිටියේය.

ජනාධිපති නීතිඥ ඉක්ක්‍රාම් මොහොමඩ් මහතා: “පක්ෂ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ මා පක්ෂ සභාපතිවරයා සමග එක්ව 72 සම්මේලනය පසුගිය තුන්වැනි දිනය සැමරුවා, පස් වැනි දින උදෑසන එතුමා පාර්ලිමේන්තුවේදී හමු වුණා. නමුත් හවස ගෙදර ගිය මට එතුමාගේම විද්යුත් ලිපියක් ලැබුණා. පක්ෂ සාමාජිකත්වය එමගින් අත්හිටුවා තිබුණා. පක්ෂ ව්‍යවස්ථාවේ 15 වැනි වගන්තියට අනුව සභාපතිවරයාට ලැබී ඇති බලතල අනුව සාමාජිකත්වය අත්හිටුවන බව දන්වා තිබුණත් හේතු දක්වා තිබුණේ නෑ. 15 වගන්තිය අනුව පක්ෂයේ කීර්ති නාමයට යහ පැවැත්මට උන්නතියට එරෙහිව කටයුතු කරන සාමාජිකයන් තහනම් කිරීමට සභාපතිට හැකියි. නමුත් මගේ පක්ෂ තහනම නීතියට පටහැනියි.

ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා: පක්ෂ ව්‍යවස්ථාව ගැන අමූලික බොරු කියන්න එපා.

ජනාධිපති නීතිඥ ඉක්ක්‍රාම් මොහොමඩ් මහතා: බොරු කියන්නෙ මම නෙමෙයි, මෛත්‍රීපාල උන්නැහේ, උන්නැහේ මාධ්‍යවේදීන්ට කියලා තියෙනවා මේක දේශපාලන බල මණ්ඩලයේ තීරණයක් කියලා. ඒ මාධ්‍ය විමසීමේ සීඩී පටිය මම අධිකරණයට ඉදිරිපත් කරනවා. ජාතික පුවත්පත්වලත් ඒක පළ කරලා තියෙනවා. මෛත්‍රී උන්නැහේ කියන්නේ ඔය අනං මනං නැතුව දයාසිරි මහතාට ඕනෑම වෙලාවක පක්ෂයේ සාමාජිකත්වය දරන්න පුළුවන් කියලා. හැබැයි පක්ෂයේ ලේකම් ධුරය හැර. මොනවද මේ අනම් මනම්? එතුමාගේ මානසිකත්වය බින්දුවයි. මෙතුමාට නීතිඥවරුන් පෙන්නන්න බෑ; එහෙමත් නැත්තං මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව පෙන්නන්න බෑ. පැමිණිලිකාර දයාසිරි මහත්තයා නීතිඥවරයෙක්. මෛත්‍රී මහතා නිමල් සිරිපාල සිල්වා මහතාටද කළේ මේ දේමයි. නිමල් සිරිපාල ද සිල්වා මහතා නඩු දාලා තියෙනවා. මෛත්‍රීපාල මහතා අත්තනෝමතික තීන්දුවක් අරගෙන තියෙනවා කියලා. එතුමා අමුඅමුවේ තීන්දු ගන්නවා. අමු තීන්දු ගන්න පක්ෂ සභාපතිට බෑ. ඒ නිසා පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි මේ ලිපිය මඟින් මගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වාරණය කරන්න කියලා මම ඉල්ලනවා. ඒ වගේම පක්ෂ මහලේකම් ධුරයේ කටයුතු කිරීමට බාධා නොකරන්න කියලා වාරණයක් නිකුත් කරන්න. දැනට පත් කර ඇති සරත් ඒකනායක මහතා ලේකම් ධුරයේ කටයුතු කිරීම වාරණය කරන නියෝග නිකුත් කරන ලෙසද ඉල්ලා සිටිනවා.

ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා: පක්ෂ ව්‍යවස්ථාවේ 15 (ඇ) වගන්තිය අනුව සභාපතිවරයා කර තිබෙන්නේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම පමණයි. ඔහු පක්ෂයෙන් නෙරපා දමා නෑ. අත්හිටුවීමෙන් පසුව දින දාහතරක් ඇතුළත විනය පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. මාසයක් ඇතුළත විනය කමිටුව මධ්‍යම කාරක සභාවට තීන්දුව දැනුම් දිය යුතුයි. නීත්‍යනුකූල ක්‍රියාදාමය පැහැදිලිව ව්‍යවස්ථාවේ සඳහන් කර තිබියදී ජයසේකර මහතා මෙම නඩුව අසද්භාවයෙන් පවරලා තියෙනවා. මොහු ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා. පැමිණිලිකරු මානසික රෝගියෙක්. නැත්තං අමතක වීමේ රෝගයෙන් පෙළෙන අයෙක්. නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ නඩුවයි මේ නඩුවයි කියන්නේ දෙකක්. ඒකෙ තීන්දු මේකට ගන්න බෑ.

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ විනිසුරුවරයා සරත් ඒකනායක මහතා නිදහස් පක්ෂයේ ලේකම් ධුරය හෙබවීම වළක්වමින් වාරණ නියෝගයක් නිකුත් කළ අතර, මෛත්‍රීපාල මහතාගේ ලිපිය ක්‍රියාත්මක කිරීම වළක්වන වාරණයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළේය. විත්තිකාර මෛත්‍රීපාල සිරිසේන මහතාට අතුරු තහනම් දැන්වීම් හා නොතීසි නිකුත් කළ විනිසුරුවරයා ලබන 22 දින විරෝධතා හා උත්තර ගොනු කරන ලෙස දන්වා සිටියේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments