මාතර, දෙවුන්දර දේවාලය ආසන්නයේ පිහිටි නිවසකට නාඳුනන තුවක්කුකරුවෙකු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරය, දෙවුන්දර දේවාලයේ පෙරහැර සම්බන්ධයෙන් අපරාධ කල්ලි නායකයින් දෙදෙනෙකු අතර ඇතිවූ මතභේදයක ප්‍රතිඵලයක් විය හැකි බවට පොලිසිය සැක පළ කරයි.
ඒ අනුව, මෙම වෙඩි තැබීම ‘දෙහිබාලේ මල්ලි’ නමින් හඳුන්වන අපරාධකරුගේ කණ්ඩායම විසින් සැලසුම් කර ක්‍රියාත්මක කර ඇති බවට විමර්ශන අංශවල සැකය පවතී.
දෙවුන්දර දේවාලයේ පෙරහැරට එක්වන කාවඩි නර්තන කණ්ඩායම් සංඛ්‍යාව සීමා කිරීමේ තීරණය සම්බන්ධයෙන් ඉකුත් 20 වැනිදා දේවාලයේ බස්නායක නිළමේ තිළිණ මධුසංක මහතාට මරණ තර්ජන එල්ල කර තිබුණි.
එම තර්ජනය කංජිපානි ඉම්රාන් භාවිත කරන බව කියන “KPI” යන අන්වර්ථ නාමයෙන් සිදුකර තිබූ අතර, ඊට ප්‍රතිචාර ලෙස ‘දෙහිබාලේ මල්ලි’ නමින් හඳුන්වන පුද්ගලයා කංජිපානි ඉම්රාන්ට මරණ තර්ජනය කරන බව කියන හඬපටයක්ද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.
පසුව තවත් හඬපට කිහිපයක්ද සමාජ මාධ්‍යයට එක්කර තිබූ අතර, එවැනි පසුබිමක ඊයේ රාත්‍රියේ දෙවුන්දර දේවාලයේ සිට මීටර් 200ක් පමණ දුරින් පිහිටි නිවසකට මෝටර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබුණි.
එම වෙඩි තැබීම ආසන්නයේ සවිකර තිබූ CCTV කැමරාවකද සටහන් වී ඇති අතර, ප්‍රහාරයෙන් පසුවද ‘දෙහිබාලේ මල්ලි’ ලෙස පෙනී සිටිමින් තවත් හඬපටයක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.
එහිදී, “ඔය දුන්නේ ගමයි ආගමයි පාවාදීපු ගෝතයන්ට… අපේ දෙවුන්දර ගමේ ඉන්න ගෝතයන්ට මේක රිහසල් එකක් විතරයි… ඊළඟ දේ පස්සේ බලමු” යනුවෙන් සඳහන් කර තිබුණි.
දෙවුන්දර වෙඩි තැබීමේ සැඟවුණු හේතුව හෙළිවෙයි

