Homeසියලුම පුවත්දේශගුණික විපර්යාස හමුවේ ආපදා අවම කිරීමට පූර්ව සූදානම අත්‍යවශ්‍යයි – අගමැතිනි හරිනි

දේශගුණික විපර්යාස හමුවේ ආපදා අවම කිරීමට පූර්ව සූදානම අත්‍යවශ්‍යයි – අගමැතිනි හරිනි

දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන හදිසි ආපදා සහ අසාමාන්‍ය ස්වභාවික තත්ත්වයන්ට සාර්ථකව මුහුණදීමටත්, එමඟින් සිදුවිය හැකි හානි අවම කර ගැනීමටත් නිරන්තර පූර්ව සූදානමකින් සිටීම අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළාය.ආපදා කළමනාකරණය එක් අංශයකට පමණක් සීමා නොවී විවිධ ක්ෂේත්‍ර ඒකාබද්ධ කරගත් වැඩපිළිවෙළක් විය යුතු බවද ඇය පෙන්වා දුන්නාය.අද (10) නාරාහේන්පිට නිල මැදුරේ පැවති කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය. පසුගිය නොවැම්බර් 06 වැනිදා අධික වර්ෂාව හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ඇති වූ හදිසි ජල ගැලීම් සහ ආපදා තත්ත්වය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු විය.කොළඹ නගරයේ ගංවතුර තත්ත්වයන් දිගු කාලයක් තිස්සේ නිසි විසඳුම් නොලැබුණු ගැටලු රැසක ප්‍රතිඵලයක් බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය, කසළ කළමනාකරණය, අපද්‍රව්‍ය බැහැර කිරීම, ජල මාර්ග නඩත්තු කිරීම සහ පහත් බිම් සංරක්ෂණය කිරීම ඇතුළත් පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව පැවසුවාය.එමෙන්ම ඇළවේලි සහ ජල මාර්ග පිරිසිදු කිරීම ආපදාවක් ඇති වූ විට පමණක් සිදු නොකර, අඛණ්ඩව නඩත්තු කළ යුතු කාර්යයක් බවද ඇය අවධාරණය කළාය.මේ අතර, කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුර සහ වැසි ජලය පාලනය කිරීම සඳහා දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති කිහිපයක් පිළිබඳවද රැස්වීමේදී කරුණු ඉදිරිපත් කෙරිණි.ප්‍රධාන ව්‍යාපෘති කිහිපයක්:- කොළොන්නාව ගංවතුර පාලන ව්‍යාපෘතිය: කැලණි ගං මිටියාවතේ ගංවතුර පාලන වැඩසටහනට සමගාමීව රුපියල් මිලියන 15,000කට වැඩි මුදලක් වෙන් කර ආරම්භ කර ඇත.- කඩුවෙල ජල මාර්ග සංවර්ධනය: රුපියල් මිලියන 450ක වියදමින් ජල මාර්ග පිරිසිදු කර සංවර්ධනය කිරීම.- කොළොන්නාවේ ප්‍රධාන ඇළ මාර්ග පිරිසිදු කිරීම: ප්‍රධාන ඇළ මාර්ග හතරක් පිරිසිදු කර සංවර්ධනය කිරීම.- කැලණි ගංගා ඉවුරු සංවර්ධනය: වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිය.මීට අමතරව දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩසටහන්, ග්‍රාමීය මාර්ග සංවර්ධනය සහ ප්‍රජා ශක්ති වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments