රැඳවියන් පිරිසක් වහලය මත නැග විරෝධතාවක නිරතවීමත් සමඟ මීගමුව, දළුපොත, පල්ලන්සේන එළිමහන් බන්ධනාගාරය අවට ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබේ.
ඒ සඳහා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, කැරලි මර්දන ඒකකය සහ ගුවන් හමුදාව කැඳවා ඇති බව සඳහන්ය.
රැඳවියන් පිරිසක් අද (07) උදෑසන වහලය මත විරෝධතාවක් ආරම්භ කිරීමත් සමඟ එහි නොසන්සුන්තාවක් හටගෙන තිබේ.
පසුගිය මාසයේ මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයෙන් අනතුරුව එහි සිටි රැඳවියන් පිරිසක් පල්ලන්සේන එළිමහන් සිරකඳවුර වෙත මාරු කිරීමට පියවර ගෙන තිබුණි.
මේ අතර, ඊයේ (06) රාත්‍රියේ නව මැගසින් බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති අතර, එහිදී එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එම සිද්ධියෙන් තුවාල ලැබූ රැඳවියන් 11 දෙනෙකු රෝහල්ගත කර තිබූ අතර, ඔවුන් අතරින් එක් රැඳවියෙකු මෙලෙස මියගොස් ඇත.
එමෙන්ම අද (07) උදෑසන කුරුවිට බන්ධනාගාරයේද නොසන්සුන්තාවක් ඇතිව තිබේ. එහිදී රැඳවියන් දෙදෙනෙකු මියගොස් තවත් පිරිසක් රෝහල්ගත කර ඇති බව සඳහන්ය.
රැඳවියන් පිරිසක් බන්ධනාගාර රෝහලටද අලාභහානි කර ඇති බව වාර්තා වේ.

