ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අද (10) අලුයම පැවති තීරණාත්මක තරගයේදී මොරොක්කෝ කණ්ඩායමට එරෙහිව ගෝල 2-0ක ජයක් වාර්තා කළ ප්‍රංශය අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙන්කර ගත්තේය.
මෙම ප්‍රතිඵලයත් සමඟ මෙවර තරගාවලියේ මොරොක්කෝ කණ්ඩායමේ ගමන අවසන් වූ අතර, වත්මන් අනුශූරයන් වන ප්‍රංශය ශූරතා සටනේ තවත් පියවරක් ඉදිරියට තැබීය.
තරගයේ ආරම්භයේ සිටම කණ්ඩායම් දෙකම ආක්‍රමණාත්මක ක්‍රීඩා රටාවක් අනුගමනය කළද, ආරක්ෂක ක්‍රීඩාවද ඉතා ශක්තිමත්ව පවත්වාගෙන ගියහ. එහි ප්‍රතිඵලයක් ලෙස පළමු අර්ධය ගෝල රහිතව අවසන් විය.
පළමු අර්ධයේදී කයිලියන් ම්බාපේට හිමි වූ දඬුවම් පහරක් මොරොක්කෝ දැල් රකින්නා සාර්ථකව වළක්වා ගැනීමත් සමඟ ප්‍රංශයට මුල් අවස්ථාවේදී පෙරමුණ ගැනීමට නොහැකි විය.
කෙසේ වෙතත් දෙවන අර්ධයේදී තරගයේ පාලනය සියතට ගත් ප්‍රංශය, 60 වැනි මිනිත්තුවේදී කයිලියන් ම්බාපේගේ ගෝලයක් මඟින් ලකුණු පුවරුව විවෘත කළේය.
ඉන් මිනිත්තු කිහිපයකට පසු, 66 වැනි මිනිත්තුවේදී ඔස්මාන් ඩෙම්බේලේ තවත් ගෝලයක් එක් කරමින් ප්‍රංශයේ ජයග්‍රහණය ස්ථිර කළේය.
2022 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේදීද ප්‍රංශය හමුවේ ගෝල 2-0ක පරාජයක් ලැබූ මොරොක්කෝවට, මෙවරත් එම ප්‍රතිඵලයම අත්විඳීමට සිදුවිය.
65,000කට අධික ප්‍රේක්ෂක ධාරිතාවක් සහිත අමෙරිකාවේ බොස්ටන් ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්විණි.

