Homeසියලුම පුවත්ප්‍රදේශ කිහිපයක රිය අනතුරුවලින් 05 දෙනෙකු මරුට

ප්‍රදේශ කිහිපයක රිය අනතුරුවලින් 05 දෙනෙකු මරුට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඊයේ (13) සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

කිරින්ද, හබරණ, අනුරාධපුර, මැදවච්චිය සහ හක්මණ යන පොලිස් වසම්වලින් මෙම අනතුරු වාර්තා වී තිබේ.

කිරින්ද පොලිස් වසමේ කිරින්ද – තිස්සමහාරාම මාර්ගයේ විලමුල්ල ප්‍රදේශයේදී යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ධාවනය වීමෙන් අනතුරක් සිදුව තිබේ. අනතුරින් බරපතළ තුවාල ලැබූ පැදිකරු සහ තවත් පුද්ගලයෙකු දෙබරවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයෙකු මියගොස් ඇති අතර, අනෙක් පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට මාරු කර යවා ඇත. මියගොස් ඇත්තේ 21 හැවිරිදි කැකිරාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

හබරණ පොලිස් වසමේ හබරණ – කන්තලේ මාර්ගයේ අලුත්ඔය ප්‍රදේශයේදී කන්තලේ දෙසට ධාවනය වූ මෝටර් රථයක් පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයක ගැටීමෙන් තවත් අනතුරක් සිදුව තිබේ. එහිදී බරපතළ තුවාල ලැබූ මෝටර් රථයේ රියදුරු සහ කාන්තාවක් කන්තලේ රෝහලට ඇතුළත් කර ඇති අතර, කාන්තාව මියගොස් ඇත. ඇය 45 හැවිරිදි අග්බෝපුර ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මේ අතර අනුරාධපුර පොලිස් වසමේ අනුරාධපුර – රඹෑව මාර්ගයේ සාලියපුර ප්‍රදේශයේදී බස් රථයක් පසුකර යාමට උත්සාහ කළ යතුරුපැදියක් එම බස් රථයේ ගැටී තිබේ. අනතුරින් යතුරුපැදිකරු බස් රථයට යටවී ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔහු 25 හැවිරිදි සාලියපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මැදවච්චිය පොලිස් වසමේ හොරොව්පතාන – මැදවච්චිය මාර්ගයේ කිරිගල්වැව ප්‍රදේශයේදී මෝටර් රථයක් පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ධාවනය වී ඇළකට පෙරළී තිබේ. අනතුරින් රියදුරු සහ කාන්තාවන් දෙදෙනෙකු රෝහල්ගත කර ඇති අතර, එක් කාන්තාවක් මියගොස් ඇත. අනෙක් කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට මාරු කර යවා තිබේ. මියගොස් ඇත්තේ 47 හැවිරිදි මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

හක්මණ – කරතොට මාර්ගයේ කරතොට ප්‍රදේශය ආසන්නයේදී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් විදුලි රැහැන් කණුවක ගැටීමෙන් සිදුවූ අනතුරකින්ද පුද්ගලයෙකු මියගොස් තිබේ. බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔහු 20 හැවිරිදි හක්මණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුරු සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන මගින් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.

RELATED ARTICLES

Most Popular

Recent Comments