දිවයිනේ ප්‍රධාන ජලාශවල මේ වන විට ගබඩා වී ඇති ජල ප්‍රමාණය සියයට 45කට ආසන්න අගයක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පාලනය කරනු ලබන ජලාශවල ජල ධාරිතාව මේ වන විට සියයට 33කට ආසන්න අගයක පවතින බව එම දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්යක්ෂ, ජල කළමනාකරණ ඉංජිනේරු එච්.එම්.පී.එච්.එස්.ඩී. හේරත් මහතා සඳහන් කළේය.
අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කවල ජලාශවල පවතින ජල ප්‍රමාණය මේ වන විට සියයට 20කට ආසන්න අගයක පවතින බවද ඒ මහතා පැවසීය.
කෙසේ වෙතත්, යල කන්නයේ අවසන් අදියරට මේ වන විට පැමිණ ඇති බැවින් කෘෂිකාර්මික කටයුතු සඳහා එම ජල ප්‍රමාණය ප්‍රමාණවත් බවද ඔහු සඳහන් කළේය.
එමෙන්ම මෙම ජලාශවලින් පානීය ජලය ලබාගන්නා ප්රදේශවලටද පානීය ජල ගැටලුවක් ඇති නොවනු ඇතැයි අපේක්ෂා කරන බව හේරත් මහතා පැවසීය.
මේ අතර ඉදිරි මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතු සම්බන්ධයෙන් මේ වන විට සැලසුම් සකස් කර ඇති බවද ඔහු සඳහන් කළේය. අම්පාර දිස්ත්‍රික්කයේ මහ කන්නයේ වගා කටයුතු හෙට (15) ආරම්භ කිරීමට පෙර කන්න රැස්වීම්වලදී තීරණය කර ඇති බවද ඒ මහතා පැවසීය.
මීට අමතරව අනෙකුත් වාරි ව්‍යාපාරවල මහ කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් ජලාශවල පවතින ජල ප්‍රමාණය සහ වර්ෂාපතනය පිළිබඳ පුරෝකථන සැලකිල්ලට ගනිමින් සැලසුම් සකස් කරමින් පවතින බවද හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
බොහෝ වාරි ව්‍යාපාරවල මහ කන්නයේ වගා කටයුතු හෙට දිනයේ ආරම්භ කිරීමට තීරණය කර ඇති බවද ඔහු පැවසීය.

